කෝටි 16 කට වඩා වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 8000 ක් රේගු භාරයට

කෝටි 16 කට වඩා වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 8000 ක් රේගු භාරයට

ඩුබායි සිට මෙරටට ආනයනය කළ බහාලුමක සූක්ෂම ලෙස සඟවා හොර රහසේ රට තුළට ගෙන ඒමට උත්සහ කළ ‘ෂිෂා’ යන්ත්‍ර සඳහා භාවිතා කරන නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8000 අධික තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය සමත් වූ බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 16 කට අධික බවත් එම මත්ද්‍රව්‍ය තොගය ග්‍රෑම් 50 යේ පැකට් 160,200 ක් ලෙස ගබඩා කර තිබූ බවත් ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර නාමයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය ආනයන කර තිබූ බව ද රේගුව පැවසීය.

ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ යූ. කේ. අසෝක රංජිත් මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ චාන්දනී සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි මෙම වැටලීම ක්‍රියාත්මක කළ බව ද රේගුව වැඩි දුරටත් පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ අංශය), යූ.කේ.අශෝක රංජිත් මහතා,

“ඩුබායි සිට ලංකාවට පැමිණිලා තියෙන්නේ ව්‍යාජ ලෙස ලංකාවේ ව්‍යාපාර ආයතනයක නමක් භාවිත කරලා. මේකේ නිකටින් 0.5ක ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඒ අනුව මේක ආනයනය කිරීම තහනම් සහ සීමා සහිත වෙනවා. අත්හැර දැමූ බහාලුම්, නිෂ්කාෂණය කිරීම ප්‍රමාද කරන බහාලුම් පිළිබඳ අපි අවධානයෙන් ඉන්නවා. කොහොමද මේක ගෙනාවේ සහ කවුද මේක පිටුපස ඉන්නේ කියන කාරණය ගැන.”