ත්‍රිපෝෂ ලබා දිය හැකි වයස් කාණ්ඩ ගැන සමාගමෙන් දැනුම් දීමක්

ත්‍රිපෝෂ ලබා දිය හැකි වයස් කාණ්ඩ ගැන සමාගමෙන් දැනුම් දීමක්

මාස 6 ත් අවුරුදු 3 ත් අතර වයසේ පසුවන දරුවන්ට ද ත්‍රිපෝෂ ලබාදීමේ හැකියාව තිබෙන බව ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා.

නමුත් ඒ සඳහා වන නිර්ණායක සම්බන්ධයෙන් පවතින ගැටලුවට විසඳුම් ලබාදිය යුතු බවයි එම සමගම පැවසුවේ.

එම දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ වල නිර්ණායක සම්බන්ධයෙන් පරස්පරතා පවතින අතර, ඒ සම්බන්යෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බව එහි සභාපති දීප්ති කුලරත්න මහතා පැවසීය.

එහෙත් ඊට නිසි පිළිතුරු හෝ විසඳුම් ලැබී නොමැති බව ද ඔහු සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් කැබිනට් සංදේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තුවට යොමුකිරීම සඳහා ඉදිරිපත් කර ඇති නමුත් මේ වනතෙක් ඒ සඳහාද විසඳුමක් ලැබී නොමැති බවයි සභාපතිවරයා පැවසුවේ.

දැනට ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට මෙන්ම අවුරුදු 3 ට වැඩි දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදීම අඛණ්ඩව සිදු කරන බවද දීප්ති කුලරත්න මහතා සඳහන් කළා.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය හා පෞද්ගලික අංශයේ ආයතනයක් මැදිහත්ව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා තිබෙන බව ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා.

ඒ අනුව මේ වසරේ ඉදිරි මාස කිහිපය සඳහාද ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හා සෝයා බෝංචි ලෝක ආහාර සංවිධානය ලබාදී ඇති බවයි එහි සභාපතිවරයා පැවසුවේ.

මේ වනවිට එම අමුද්‍රව්‍ය ලැබෙමින් පවතින බව ද ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.