IMF නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙති

IMF නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Mr Peter Breuer (Senior Mission Chief), Ms Sarwat Jahan (Resident Representative), Manavee Abeyawickrama (Local Economist) පැමිණ සිටියේය.

එහිදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හට කියා සිටියේ, වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩි කර ඇති බවයි.

මේ නිසා සාමාන්‍ය ජනතාව, ගර්භනී මාතාවන්, දරුවන්, මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව ද විපක්ෂනායකවරයා මෙහි දී සාක්ෂි, සාධක සහ දත්ත සහිතව පෙන්වා දුන්නේය.

එබැවින් සමගි ජන බලවේග රජයක් යටතේ, වත්මන් රජය IMF එක සමග ඇති කර ගත් ඒකපාර්ශ්වීය ගිවිසුම සංශෝධනය කර පොදුජනතාවට වැදගත්, ජනතාවාදී ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

එසේම වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති ජනතාව එම අසරණ භාවයෙන් මුදවා ගැනීමටත් පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩ ගෙන දුකට, අසරණභාවයට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට සමගි ජන බලවේගය විපක්ෂයේ සිට කටයුතු කරනවා සේ ආණ්ඩු බලය ලැබුණු විගස කටයුතු කිරීමට ද විධිමත් සැලසුමක් මේ වනවිටත් පවතින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.