මළ සිරුරෙනුත් මුදල් ඉපයූ සරෆ්වරිය අත්අඩංගුවට

මළ සිරුරෙනුත් මුදල් ඉපයූ සරෆ්වරිය අත්අඩංගුවට

මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන ආදාහනාගාරයේ මළ සිරුරු ආදාහනය කිරීම සඳහා එක් සිරුරකින් වැඩිපුර රුපියල් 5000 මුදලක් සටහන් කර රුපියල් 5,50,000 මුදලක් වංචා කළ මාතලේ මහ නගර සභාවේ සරෆ්වරිය මෙම මස (30) වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතලේ දිසා මහේස්ත්‍රාත් අර්. පී. කේ. එන්. එන් කොත්ගේ මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේ, මාතලේ මහන නගර සභාවේ සරෆ් වරිය ලෙස සේවය කළ නයනා ප්‍රියදර්ශනී නැමති කාන්තාවකි.

මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා මහ නගර සභා සීමාව තුළ පදිංචිකරුවකුගෙන් රුපියල් 20000ක් අය කිරීමට හා මහ නගර සභා සීමාවෙන් පිටත මෘත දේහයක් සඳහා රුපියල් 25000ක මුදලක් අය කිරීමට මහ නගර සභාව තීරණය කර ඇති නමුත් මාතලේ මහ නගර සභා සීමාව තුළ මෘත දේහයක් ආදානය කිරීමට රුපියල් 25000 බැගින් බිල්පත් ව්‍යාජ ලෙස වෙනස් කරමින් මෙසේ එක් මළසිරුරකින් වැඩිපුර රුපියල් 5000 බැගින් මාතලේ මහ නගර සභාවේ සරෆ්වරිය ලබාගෙන ඇතැයි අධිකරණයේදී හෙළිව තිබේ.

ඒ අනුව, රුපියල් 5,50,000 ක මුදලක් වංචා කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව 1982/අංක 12 පොදු දේපළ පනත යටතේ අදාළ කාන්තාව කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන අධිරිකරණයට ඉදිරිපත් කර ඇත.