දක්ෂිණ අධිවේගය යළිත් අවදානමක

දක්ෂිණ අධිවේගය යළිත් අවදානමක

නායයෑමක් හේතුවෙන් අවහිර වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා.

ඒ අනුව මේ වනවිට අදාළ මාර්ග කොටස ජලය යොදා පිරිසිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

පසුගියදා ඇදහැලුනු අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ පෙරේදා රාත්‍රියේ නායයෑමක් සිදුව තිබුණා.

මාතර සිට කොළඹ දෙසට රථවාහන ධාවනය වන මංතීරුවට ඉහළින් පිහිටි පස් කන්ද එලෙස නායගොස් තිබූ අතර, පස්කන්ද කඩාවැටීමෙන් අධිවේගී මාර්ගයේ මංතීරු හතරම සම්පූර්ණයෙන් අවහිර වුණා.

ඒ අනුව ඉමදූව සිට පින්නදූව දක්වා ගමනාගාමනය සම්පූර්ණයෙන් නවතා දැමීමටයි පියවර ගැනුණේ.

කෙසේ වෙතත්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් පැල්මක් නිරීක්ෂණය වී ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා පවසනවා.

ඔහු කියා සිටියේ නායයෑමට ලක්වූ ස්ථානයේ තවත් පැල්මක් පවතින බැවින් එය තවත් අවදානමක් බවයි.

එම තත්ත්වයන් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඉදිරියේදී මාර්ග කොටස විවෘත කිරීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

එසේම, මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සිදුකරන පරීක්ෂාවෙන් පසු ලබාදෙන නිර්දේශ මත ගමනාගමන කටයුතු සඳහා යළි මාර්ගය විවෘත කිරීමට කටයුතු කරන බවයි.