සෞඛ්‍ය වර්ජනය අදින් අවසන්

සෞඛ්‍ය වර්ජනය අදින් අවසන්

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (12) පෙරවරුවේ අවසන් කිරිමට තීරණය කර තිබේ.

රජය විසින් වෛද්‍යවරුන්ට රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට ගත් තීරණයත් සමඟ, එම දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගිය අඟහරුවාදා දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දිවයින පුරා රෝහල්වල කටයුතුවලට බාධා එල්ල වුණි.

ඊට අමතරව රෝහල් ලේකම්වරුන්, පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කාර්යය සහයකයන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද ඊයේ උදෑසන 6 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එම ක්‍රියාමාර්ගය අද උදෑසන 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ මෙම ගැටලුව විසදීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් නොවන්නේ නම් ඉදිරියේදී යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවන බවය.

මේ අතර අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී අමාත්‍යවරයා වෙත පවතින තත්ත්වය සහ සිය යෝජනා ඇතුළත් ලිපියක් භාරදීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා ප්‍රකාශ කළේය.

Share This