කෝටි 6 ක හෂීෂ් තොගයක් රේගු භාරයට

කෝටි 6 ක හෂීෂ් තොගයක් රේගු භාරයට

ආහාර අඩංගු ත්‍යාග පාර්සලයක් ලෙස සඳහන් කරමින් ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ පාර්සලයක් තුළ තිබූ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ පස්වරුවේ (02) සීදූව භාණ්ඩ නිශ්කාශන ආයතනයකදී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 919 ක් බර එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් හය කෝටි දහතුන් ලක්ෂ හැටදහසක් බවයි.

මෙම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය භාර ගැනීමට පැමිණි නියෝජිතවරයා ඉදිරිපිටදී එය විවෘත කර පරීක්ෂා කර බැලීම සිදුකර ඇති අතර, ඉන්පසුව එම නියෝජිතවරයා ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි කටුනායක ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

2023 වසරේදී ගුවන් තැපැල් සේවා ඔස්සේ මෙරටට විෂ මත්ද්‍රව්‍ය එවීමට තැත් කළ අවස්ථා 08ක් රේගුව විසින් වළක්වා ඇති බවත්, එම අත්අඩංගුවට ගැනීම්වලදී කිලෝ ග්‍රෑම් 61 යි ග්‍රෑම් 700 ක් බරැති රුපියල් තිස්පන් කෝටි අනූ ලක්ෂයක් වටිනා විෂ මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට ගැනීමට සමත් වී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Share This