ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දින 2කින් දීර්ඝ වෙයි

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දින 2කින් දීර්ඝ වෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මානුෂීය සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කර තිබේ.

සිකුරාදා ආරම්භ වූ දින 4 ක සටන් විරාමයේ අවසන් හෝරා කිහිපය ගෙවී යාමට මත්තෙන් දෙපාර්ශ්වය තවත් දින 2ක සටන් විරාමයකට එකඟ වූ බව කටාර් රාජ්‍යය නිවේදනය කළේ ය.

කටාර් බලධාරීන් යුද්ධය ආරම්භයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළේ ය.

සිකුරාදා සිට මේ දක්වා හමාස් සංවිධානය නිදහස් කර ඇති ප්‍රාණ ඇපකරුවන් ගණන 69කි.

ඊට ඊශ්‍රායල ජාතිකයින් සහ විදේශිකයින් ඇතුළත් වේ.

සටන් විරාමය අතරතුරදී ඊශ්‍රායල බලධාරීන් ද පලස්තීන කාන්තාවන් සහ ළමුන් 150 දෙනෙකු නිදහස් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාර හමුවේ ආරම්භ වූ ගැටුමේ හේතුවෙන් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1200කි.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හමුවේ පලස්තීනයේ දරුවන් 6000ක් මියගොස් ඇති අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 15,000 කට ආසන්නයි.