ලෝක ප්‍රකට සූපවේදියෙකු දිවයිනට

ලෝක ප්‍රකට සූපවේදියෙකු දිවයිනට

ලෝක ප්‍රකට සූපවේදී, ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් (Gary Mehigan) මහතා ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා ඊයේ (27) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සඳහා වූ තරගාවලියක් වන “මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා” (Master Chef Australia) තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති මිහිගන් මහතා ලොව පුරා රටවල් රාශියක සංචාරය කරමින් සූපවේදය පිළිබඳ පර්යේෂණ වල නියැලෙමින් අත්දැකීම් ලත්, සූපවේදය පිළිබඳ ග්‍රන්ථ රාශියක් ලියා පළ කර ඇති කර්තෘ වරයෙකි.

ගැරී මිහිගන් මහතා එළඹෙන 30 සහ ලබන මස 02 වන දින ශ්‍රී ලාංකික සූපවේදීන් රාශියක් සමග කොළඹ සිනමන් හෝටලයේ දී ජාත්‍යන්තර රාත්‍රී ආහාර වේල් දෙකක් මෙරට ජනතාවට දැක බලා ගැනීම සදහා පිළියෙල කිරීමට නියමිතය.

ඊට අමතරව 11/30 සහ 12/01 දින සිනමන් හෝටලයේ දී ශ්‍රී ලාංකික ජනතාව මුණ ගැසී සූපවේදය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරෙන අදහස් හුවමාරු කෙරෙන වැඩසටහනක ද නිරත වීමට නියමිතය.

ගැරී මිහිගන් මහතා , සිය බිරිඳ කළමනාකරු සහ තවත් එක් සහායක සූපවේදියෙකු සමග ඊයේ රාත්‍රී 11.08 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 172 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූණි.