පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි දිවියට

පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි දිවියට

පොහොට්ටුවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ අද (20) හාරිස්පත්තුවේ ධම්මරතන නමින් තාවකාලික පැවිද්දට ඇතුළත් වී තිබේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස ද කටයුතු කරන ගුණතිලක රාජපක්ෂ අධ්‍යාත්මික සුවය සොයාගෙන ගොස් ඉන්දියාවේ බරණැස ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදී එහි විහාරාධිපති පූජ්‍ය රත්මලේ සුමිත් ආනන්ද හා පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ පියනන්ද නාහිමිවරුන්ගේ උපාධ්‍යයයෙන් යුක්තව තාවකාලිව පැවිදි දිවියට එළඹ ඇතැයි වාර්තා වේ.

කැනඩාවේ පදිංචි වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ගුණතිලක රාජපක්ෂ ගේ පුත් සඳකැළුම් රාජපක්ෂ ද ඔහු සමග අම්පාරේ ධම්මාලෝක නමින් තාවකාලික පැවිදි දිවියට ඇතුළු වී ඇත.

කෙටි කලක් තාවකාලික පැවිදි දිවියේ ගතකරමින් දඹදිව සිද්ධස්ථාන රැසක් වන්දනා කිරීමටද ධම්මරතන හිමියන් තීරණය කර සිටි.

පසුගිය දා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ගුණතිලක රාජපක්ෂ හදිසියේ හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කළේය. ඒ මාධ්‍යවේදීන් කමිටු රැස්වීමෙන් පලවා හැර ටික වෙලාවකට පසුය.

ඔහුගේ භාර්යාව ද මෙයට කෙටි කලකට පෙර අභාවප්‍රාප්ත වූවාය.