ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව ග්‍රාම නිලධාරී සංගම් එකමුතුව පවසයි.

ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න පවසා සිටියේ, 14,000කට අධික ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සමස්ත ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පවසා සිටියේ, මේ සඳහා ග්‍රාම නිලධාරීන් නියෝජනය කරන සියලු සංගම්වල සහාය ලැබී ඇති බවය.

“ඉවසුවා ඇති” යන තේමාව යටතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වේ.

සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, කාර්යාල, නිල ඇඳුම්, ලිපි ද්‍රව්‍ය, ගමන් වියදම් විධිමත් පරිදි ලබා ගැනීම මෙම වර්ජනයේ ප්‍රධාන අරමුණ බවයි, වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී සඳහා වර්තමානයේ දෙන පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් ඒ පිළිබඳ අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළ ද කිසිදු පියවරක් මේ දක්වා නොගත් බවත්ය.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සහ ග්‍රාම නිලධාරීන්ගේ දීමනා හැකි ඉක්මනින් වර්තමානයට ගැලපෙන ලෙස ඉහළ දැමිය යුතු බවත් නන්දන රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තමන්ගේ ගැටලු පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරන්නේ නම් දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ද ඒ මහතා පැවසීය.

Share This