බිරිය ඝාතනයට දරුවන් ප්‍රාණ ඇපයේ තබාගත් පුද්ගලයා අධිකරණයට

බිරිය ඝාතනයට දරුවන් ප්‍රාණ ඇපයේ තබාගත් පුද්ගලයා අධිකරණයට

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගලයකු තම කුඩා දරුවන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිටි සිද්ධිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පැය නවයක මෙහෙයුමකින් පසු දරුවන් දෙදෙනා බේරා ගැනීමට හැකිවිය.

එමෙන්ම අත් බෝම්බයක් සමගින් සිටි සැකකරුව ද දැඩි පරිශ්‍රමයක් දරා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි අවස්ථාවේදී සැකකරු විසින් දරුවන් දෙදෙනාට යම් එන්නතක් ලබා දී ඇති බැවින් එම දරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කරන ලදී

දරුවන් ප්‍රාණ ඇපයට ගෙන අත් බෝම්බයේ අගුලු ඉවත් කර සිටි පුද්ගලයා සමග සාකච්ඡා කරමින් එම අත් බෝම්බය යළි අගුලු ලෑමට බෝම්බ නිස්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන ලදී

පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) ගුණරත්න මහතා සහ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා විසින් පැය නවයක් තිස්සේ සැකකරු සමග සාකච්ඡා කරමින් දැඩි ලෙස ආයාචනා කළ සිටියේ සැකකරුට දරුවන් දෙදෙනාට හානි නොකර නිවසෙන් පිටතට පැමිණි ලෙසයි.

එහෙත් එම ඉල්ලීම් වලට සවන් නොදුන් සැකකරු දිගින් දිගටම දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටීම නිසාවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් එක්වරම මෙහෙයුමක් දියත් කොට සැකකරු සිටි කාමරයේ දොරවල් කඩා දමා සැකකරු අත්අඩංගැනීමට කටයුතු කරන ලදී

සැකකරු සතුව තිබූ අත් බෝම්බය විනාශ කිරීම සදහා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත බාර දීමට කටයුතු කල බව පොලිසිය පවසයි

මේ අතර විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අද (06) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සැකකරු අද (06) හෝමාගම අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි හංවැල්ල පොලිසිය පැවසුවේ.

Share This