රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ අකටයුතුකම් ගැන පැමිණිලි කරන්න දුරකථන අංකයක්

රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ අකටයුතුකම් ගැන පැමිණිලි කරන්න දුරකථන අංකයක්

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් විසින් සිදුකරන අකටයුතුකම් පිළිබඳ දැනුම් දීම සඳහා කෙටි දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, 1905 යන කෙටි දුරකථන අංකය අමතා අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි, එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එම දුරකථන අංකයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම මෙම අංකය වෙත මේ වන විට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව කඩිනමින් විමර්ශනය කර අදාළ තීන්දු තීරණ ගන්නා ලෙසට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම පමා වීම තුළින්, චෝදනා එල්ල වන නිලධාරීන්ට හා පැමිණිලි ඉදිරිපත් කරන ජනතාවට අසාධාරණයක් වීම වැළැක්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, දැනට පවත්වා ඇති සම්මුඛ පරීක්ෂණවලින් අදාළ තනතුරුවලට තෝරාගෙන සිටින පිරිස් පවතින පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීමට නියමිත බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Share This