EPF පොළී අනුපාත සම්බන්ධයෙන් ගෙවිඳුගෙන් මහ බැංකුවට එරෙහිව පෙත්සමක්

EPF පොළී අනුපාත සම්බන්ධයෙන් ගෙවිඳුගෙන් මහ බැංකුවට එරෙහිව පෙත්සමක්

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින් සඳහා 09% වාර්ෂික පොළියක් ගෙවද්දී ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය දරන සාමාජිකයින්ට ගෙවනු ලබන වාර්ෂික පොළිය ලෙස 29.27% ක් ගෙවීමට ගෙන තිබෙන තීරණය තුළින් වැඩකරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යුතුකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවීම් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොන් කළේය.

එහි වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපති, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු කියා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ගෙවනු ලබන පොලී අනුපාතය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පොලී අනුපාතය පිළිබඳ තොරතුරු තමා විසින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ බවයි.

ඊට පිළිතුරු දුන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සාමාන්‍ය අර්ධ සාධක අරමුදලේ සාමාජිකයින් සඳහා සියයට 09 ක පොලී අනුපාතයක් ගෙවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් 29.27% ක පොළියක් ගෙවන බවත් සඳහන් කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

පසුව මෙම විශමතාවය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කලද ඉන් සහනයක් අත්වී නොමැති බවද පෙත්සමේ සඳහන් වේ.

මේ තුළින් රටේ වැඩ කරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට වාර්ෂික පොලී අනුපාතය 11% ක අගයක පිහිටුවීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටි.

ඊට අමතරව සේවක අර්ථසාධක අරමුදලේ සිටින සෑම සාමාජිකයෙකුට රුපියල් 10 ක් බැගින් ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ඇතුළු වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදල් වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.