රතන්පුර මැණික් කුළුන ජනපති සුරතින් විවෘත කෙරේ

රතන්පුර මැණික් කුළුන ජනපති සුරතින් විවෘත කෙරේ

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුළුන) අද (4) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිනි.

රත්නපුර දෙමුවාවත ප්‍රදේශයේ ඉදිකළ මෙම මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් සකස් කර තිබේ.

එහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3650ක් වැයකර පස් මහල් ගොඩනැගිල්ලක් ඉදි කර ඇත. මෙම කුලුනෙහි දෙවැනි අදියර ලෙස මහල් 14ක් ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 4500කි.

අද විවෘත කළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විත වන අතර එයින් දේශීය ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ස්ථාන 17ක්ද, විදේශීය ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාරික ස්ථාන 10ක්ද ලබාදීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අරමුදල් භාවිත කරන අතර මෙය අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට එකම වහලක් යටට සම්බන්ධ වීමට හැකිවන පරිදි ඉදිකරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයකි.

එමෙන්ම මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් සහ හොංකොංහි මෙන් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු සහ අපනයන සේවා ද සපයනු ඇත.

මැණික් කුළුන විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය,

මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ වැඩකටයතු ආරම්භ කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීයි. ඒ වගේම මේ මධ්‍යස්ථානය ඉදිකිරීමට කැපවීමෙන් කටයුතු කළ ලොහාන් රත්වත්තේ සහ චාමර සම්පත් යන අමාත්‍යවරුන් ද සිහිපත් කළයුතුයි.

මෙම මධ්‍යස්ථානය රත්නපුරයට පමණක් නොවෙයි, රටේම ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා.