ඉන්ධන මිල සංශෝධනයක්

ඉන්ධන මිල සංශෝධනයක්

මිල කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණු පසු, ඉදිරි මාසය සඳහා ඉන්ධන මිල අද (31) තීරණය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ ඉන්ධන මිල සළකා බැලීමේදී මිල කමිටුව රුපියලේ අගය ඉහළ යෑම සැළකිල්ලට ගන්නා නමුත් එය එකම නිර්ණායකය නොවන බවයි.

ඒ වෙනුවට වෙළඳපොළේ සැබෑ ඉන්ධන මිල කෙරෙහි බලපාන සියලු සාධක මත මිල තීරණය කරන බව ඔහු පැවසීය.

මේ මාසයේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගියද, එහි ප්‍රතිලාභය ඉදිරි මාසවලදී දැනෙන්නේ බලශක්ති ක්ෂේත්‍රයට පමණක් බව වාර්තා වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසුවේ පවතින මිල සූත්‍රය අතීත වියදම් අයකර ගැනීම අරමුණු කරගත් බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරයේ අගය ආදේශ වන්නේ බොරතෙල් නිෂ්පාදන මෙරටට ආනයනය කරන විට ක්‍රියාත්මක වූ විනිමය අනුපාතික අනුව බව ඔහු සඳහන් කළේය.

ඔහුට අනුව වර්තමාන විනිමය අනුපාතිකයේ ප්‍රතිලාභ හිමිවනු ඇත්තේ ඉදිරි මාසවලදීය.

මාර්තු 26 වැනි දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කීපයක එක්සත් ජනපද ඩොලරය පැවතියේ රු. 300ට අඩු අගයකය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තවදුරටත් සැබෑ ඵලදායී විනිමය අනුපාතිකය සමීපව නිරීක්ෂණය නොකරන බවයි.

“වෙළඳපොළ ඉල්ලුම සහ සැපයුම් බලවේග මත පදනම්ව රුපියලේ අගය ලබා ගැනීමට සහ අහිමි වීමට දැන් ඉඩ දී තිබෙනවා ” යනුවෙන් ඔහු පැවසීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කළේ මාර්තු 4 වනදා වන අතර, එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 9කින් අඩුකර රු. 447දක්වාත් සුපර් ඩීසල් ලීටරයක් රු. 10කින්අඩුකර රු. ලීටරයක් 458ක් බවටත් පත්විය.

එම අවස්ථාවේ භූමිතෙල් මිල රු. 5කින් අඩු කෙරුණේ රු. ලීටරයක් 257ක් වන ලෙසය.

2022 දී රට ණය පැහැරහැරීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඇති වූ බලශක්ති අර්බුදයෙන් සහ ඉන්ධන හිඟයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව අරගල කරන විට පසුගිය වසර දෙක තුළ ඉන්ධන මිල ඉහළ ගියේය.

Share This