ඉන්ධන මිල තවත් අඩු කරන්න සූදානම්

ඉන්ධන මිල තවත් අඩු කරන්න සූදානම්

විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

මෙම නව පනත් කෙටුම්පතේ නිෂ්කාශන කටයුතු සඳහා නීති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් කැබිනට් අනුමැතියෙන් පසු ලබන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මිල සූත්‍රය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදු කොට ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා කීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය,

2024 මාර්තු මස 05 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිරීමට හැකියාව ලැබුණා.

මීට සාපේක්ෂව ආපන ශාලාවල ආහාර මිල මෙන්ම භාණ්ඩ මිල ගණන් අඩුවුණා ද යන්න පිළිබඳ යම් ගැටලුවක් පවතිනවා. ඒ වගේම පොදු සේවාවන් ලෙස සැලකෙන කාණ්ඩයේ දී ජනතාවට විශාල සහනයක් ලබා දිය යුතු බව පැවැසීය යුතුයි. මෙම සහන ලබා දීමේ කාර්යය විදුලිබල මණ්ඩලයට හෝ අමාත්‍යාංශයට සිදුකළ හැකි කරුණක් නොවන බව අපගේ අදහසයි.

ඒ වගේම පසුගිය කාලයේ ලැබුණු අධික වර්ෂාපතනය නිසා විදුලි ජනනය කිරීමේ ක්‍රියාවලියේ ගැටලු අවම කර ගැනීමට හැකියාව ලැබුණා. එම ප්‍රතිලාභය තුළින් 2022 වසරේ පැවැති රුපියල් බිලියන 270කට අධික වූ අලාභයෙන් කොටසක් පියවා ගැනීමට හැකියාව ලැබුණා. නමුත් විදුලි බිල අඩු කිරීමට ප්‍රධානම සාධකය වන්නේ, පැවැති ආර්ථික අස්ථාවරභාවයෙන් රට ක්‍රම ක්‍රමයෙන් ස්ථාවරත්වයට පැමිණ රුපියල ශක්තිමත් වීමේ වාසිය බව පැවැසීය යුතුයි.

එමඟින් විදුලි ජනන වියදම අඩු කිරීමට විශාල ලෙස හැකියාව ලැබුණා. එමෙන්ම ද්විත්ව අගයක්ව පැවැති පොලී අනුපාතිකය අඩුවීම ද විශාල වාසියක් වුණා.

එමෙන්ම ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන ඩොලර් මිලියන 100ක පළමු කොටසින් පාසල්, ආරක්ෂක කඳවුරු, විශ්වවිද්‍යාල, ආගමික සිද්ධස්ථාන ඇතුළු පොදු ස්ථානවල විදුලිය ලබා ගැනීම සඳහා සූර්ය පැනල ලබාදීමට අප කටයුතු කරනවා. තවදුරටත් විදුලිබිල අඩු කර ගැනීමට නම් දැනට පවතින විදුලි බලාගාර වෙනුවට හෝ දැනට සිදු කෙරෙන අධික විදුලි මිල දී ගැනීම් වෙනුවට අඩු වියදමින් යුත් ක්‍රමවේදයන් සඳහා යොමු විය යුතුයි.

සියඹලාණ්ඩුව විදුලි ජනන ව්‍යාපෘතිය 2025 වසර අවසාන භාගයේ දී ජාතික පද්ධතියට එකතු කිරීම අපගේ මීළඟ බලාපොරොත්තුවයි. එමඟින් මෙගාවොට් සියයක් රුපියල් 25 හෝ 26ක මුදලකට විදුලිබල මණ්ඩලයට ලබාගත හැකි වනවා. එවැනිම මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ මේ වන විට අප අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ සඳහා අයෝජකයන් විශාල ප්‍රමාණයක් අප සමඟ එක්ව සිටිනවා.

ඒ වගේම සුළං සහ සූර්යබල ව්‍යාපෘති 10ක් දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා විවෘත කර තිබෙනවා. ලබන සතියේ මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මෙගාවොට් 50ක සුළං බලාගාරයක් සඳහා ටෙන්ඩර් කැඳවීමට අදාළ දැන්වීම පළ කිරීමට අප කටයුතු කරනවා.

එමෙන්ම ඉන්ධන මිල සූත්‍රය පිළිබඳ පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදුකොට ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වනවා.

තවද විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට අදාළ ගැසට් පත්‍රය පසුගිය දෙසැම්බර් මාසයේ දී පළ කරනු ලැබුවා. ඒ අනුව නව පනතේ අඩුපාඩු සහ වෙනස්කම් පිළිබඳ පාර්ශ්වකරුවන්, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති පෙන්වා දී තිබුණා. ඊට අදාළ සංශෝධන 46ක් නීති කෙටුම්පත් කාර්යාලය හරහා නිෂ්කාශනයන් සඳහා නීති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. ඉන් අනතුරුව ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නව පනතක් ලෙස සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

 

Share This