පාසල් නොගොස් හෝටලයක සංවිධානය කළ ෆේස්බුක් සාදයක් වටලයි

පාසල් නොගොස් හෝටලයක සංවිධානය කළ ෆේස්බුක් සාදයක් වටලයි

අවුරුදු උත්සවයක් පවත්වාගෙන යන මුවාවෙන් පාසල් නොගොස් උසස් පෙළ සිසු සිසුවියන් මුහුණු පොතෙන් සංවිධානය කර අද (29) අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වීමට තිබූ මිතුරු සාදයක් විසුරුවා හැරීමට පියවර ගත් බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

සිය පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට අද උදෑසන යනවිටත් එම හෝටලයට අවුරුදු දහනවකක් පමණ වන මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් විශාල පිරිසක් පැමිණ සිටි බව ද පොලීසිය කියයි.

මිතුරු සාදයට බහුල වශයෙන්ම ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන සිසු සිසුවියන් ඇතුලු 110ක් සහභාගිවීමට නියමිතව තිබූ බවත් පොලීසිය කියයි.

මේ අවස්ථාවට සහභාගී වන එක් අයෙකුගෙන් රුපියල් දහස බැගින් එකතු කර ඇති බව අනාවරණයවූ බව ද පොලීසිය කියයි.

අවුරුදු උත්සවයක් පැවැත්විය යුත්තේ ක්‍රීඩාංගණයක බවත් මේ තරුණ තරුණියන් මේ සදහා හෝටලයක් තෝරාගෙන තිබුණේ අවුරුදු උත්සවයේ නමින් මිතුරු සාදයක් පැවැත්වීමට බව අනාවරණයවූ බවද පොලීසිය පවසයි.

අම්බලන්ගොඩ පාසලක සිසුන් කණ්ඩායමක් මෙය මෙහෙයවා තිබූ බවත් එම විදුහලේ විදුහල්පතිවරයාද මේ සම්බන්ධයෙන් සිය විරෝධතාව ඔවුන්ගේ දෙමාපියන් වෙත දුරකතන මාර්ගයෙන් දන්වා ඇති බව ද පොලීසිය කියයි.

අද එම පාසලේ උසස් පෙළ සිසු ඝනත්වය අඩුවිම නිසා එහි උසස් පෙළ පන්ති පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබූ බව ද පොලීසිය පවසයි.

Share This