එක්ස්ප්‍රස් පර්ල් අනතුරින් ජීවිකාව අහිමි වූ ධීවරයන්ට තවත් කෝටි 152ක්

එක්ස්ප්‍රස් පර්ල් අනතුරින් ජීවිකාව අහිමි වූ ධීවරයන්ට තවත් කෝටි 152ක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා පැනවූ ධීවර කටයුතු තහනමින් ජීවිකාව අහිමි වූ ධීවර කාර්මිකයන් වෙනුවෙන් සිව් වැනි වටයේ වන්දි ලෙස අදාළ රක්ෂණ සමාගම පිරිනැමූ රු. කෝටි 152ක (මිලියන 1514.9ක්) මුදලක් මහා භාණ්ඩාගාරය විසින් ධීවර අමාත්‍යාංශය වෙත පිරිනමා තිබේ.

ඒ අනුව, එම වන්දි මුදල් අලුත් අවුරුද්දට පෙර ගෙවා අවසන් කරන්නැයි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ මුදල ධීවර අමාත්‍යාංශය විසින් ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් ධීවරයන් සහ ධීවර ආශ්‍රිත රැකියාවල නිරත වූවන් 16,867ක් වෙත බෙදා දීමට නියමිතය.

සිව් වැනි වටයේ ධීවර වන්දි දීමේ විශේෂත්වය වන්නේ, අදාළ ධීවර ප්‍රදේශවල වෙසෙන ධීවර ආශ්‍රිත රැකියාවල නිරත වූවන්ටද වන්දි මුදල් හිමි වීමයි.

මේ අනුව සිව් වැනි වටයේ වන්දි ගෙවීම අවසන් වන විට ධීවර කාර්මිකයන් නිරත වන පන්න ක්‍රමය හා ධීවර තහනම බලපෑ දින ගණන අනුව අදාළ වට තුනෙහිම එකතුවද සමඟ එක් ධීවර කාර්මිකයකුට රුපියල් 330,000 සිට 50,000 දක්වා වූ මුදලක් වන්දි වශයෙන් හිමි වේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා පැනවූ ධීවර කටයුතු තහනමින් ජීවිකාව අහිමි වූ ධීවර කාර්මිකයන් වෙනුවෙන් මෙයට පෙර වට තුනකදී රු. මිලියන 1,477ක් වන්දි වශයෙන් පිරිනමා තිබිණි.

ඒ අනුව, සිව්වන වටය අවසන ධීවර හානි වන්දි ලෙස රු. මිලියන 3,000ක මුදලක් අදාළ නෞකා රක්ෂණ සමාගම විසින් ශ්‍රී ලංකා රජය වෙත පිරිනමා ඇත.