එරාන් වික්‍රමරත්න කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

එරාන් වික්‍රමරත්න කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අද (මාර්තු 18) සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් (COPE) ඉල්ලා අස්වී තිබේ.

කෝප් කමිටුව සහ එහි සභාපතිවරයා කමිටුවේ මුඛ්‍ය පරමාර්ථයන් ඉටු කිරීමට අපොහොසත් බව තමන්ට හැඟීයාම මෙම ඉල්ලා අස්වීම සඳහා හේතු වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ.

ඔහු මීට පෙර පාර්ලිමේන්තු කෝප් කමිටු වල කටයුතු කර ඇති අතර පසුගියදා පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව යළි කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස පත් කර සිටියේය.

“රජයට මූල්‍යමය කොටස් හිමිවන රාජ්‍ය සංස්ථා සහ අනෙකුත් අර්ධ රාජ්‍ය ආයතන වල මුල්‍ය විනය පිළිපැදීම සහතික කිරීම සඳහා කෝප් කමිටුව පිහිටුවා තිබෙනවා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු එහි සභාපතිවරයා ලෙස පත්කිරීමෙන් ආණ්ඩුවේ විධායක හස්තය පාලනය කිරීමේ අරමුණු ඉටුකර ගැනීමට කමිටුව අපොහොසත් වනවා” යැයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

2015-2019 ආණ්ඩුව කෝප් සහ කෝපා යන ප්‍රධාන කාරක සභා දෙක සඳහා විපක්ෂයෙන් සභාපතිවරුන් පත්කිරීමේ හොඳම පිළිවෙතක් අනුගමනය කළ බව වික්‍රමරත්න මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.