මිනිස් වාසයට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයාගනී

මිනිස් වාසයට සුදුසු පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයාගනී

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී තිබේ.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම නව ග්‍රහලෝකය සොයාගෙන ඇතැයි වාර්තා වේ.

යුරෝපා විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘Gliese 12b’ යනුවෙනි.

තරාකා විද්‍යාඥයන් මීට පෙර ද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන ඇති නමුත්, ‘Gliese 12b’ පෘථිවියට බෙහෙවින් සමාන, ජීවත් වීමට වඩාත් සුදුසු ග්‍රහයකු බව පැවැසෙයි.

‘Gliese 12b’ ග්‍රහලෝකයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වන බවට ඇස්තමේන්තු ගත කර ඇති නමුත් එහි වායුගෝලය කෙබඳුද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.

කෙසේවෙතත් මෙම ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක දුරින් පිහිටීම නිසා එය සමීපව නිරීක්ෂණයට බාධාවක් වී ඇති බව ද විද්‍යාඥයින් පවසයි.

නව ග්‍රහලෝකය දින 12.8 කට වරක්ම, එම ග්‍රහලෝකය අයත් ග්‍රහ මණ්ඩලයේ තරුවක් වටා කක්ෂගත වන බවත් විද්‍යාඥයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.

මෙම ග්‍රහලෝකය මීන රාශියේ පිහිටා ඇති සිසිල් රතු වාමනයෙකු වන අතර පෘථිවියට සූර්යයාගෙන් ලැබෙන ශක්තිය මෙන් 1.6 ගුණයක ශක්තියක් ග්‍රහලෝකයට එම තාරකාවෙන් ලැබෙන බවද වාර්තා වෙයි.

Gliese 12b ග්‍රහලෝකය සොයාගනු ලැබු විද්‍යාඥ කණ්ඩායම ග්‍රහලෝකයේ පැවැත්ම සහ එහි ප්‍රමාණය, උෂ්ණත්වය සහ පෘථිවියෙන් ඈත්ව ඇති දුර වැනි ලක්ෂණ තහවුරු කිරීමට නාසා සහ යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියෙහි චන්ද්‍රිකාවල දත්ත භාවිත කර තිබේ.

වෝර්වික් විශ්වවිද්‍යාලයීය තාරකා භෞතික විද්‍යාඥයෙකු වන ආචාර්ය තෝමස් විල්සන් පැවසුවේ, “මෙම සොයාගැනීම අපගේ මන්දාකිණිය හරහා පෘථිවියට සමාන ග්‍රහලෝක පිළිබඳ අපගේ පර්යේෂණයට උපකාරයක් වගේම උද්යෝගයක් වනු ඇති” බවය.‍

ආචාර්ය විල්සන් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ “පුදුමයට කරුණක් නම්, “මෙම ග්‍රහලෝකය අප දන්නා පෘථිවි ප්‍රමාණයේ සහ උෂ්ණත්වයට සමානම ග්‍රහලෝකය” බවය.

එමෙන්ම අප දැන් දකින ආලෝකය මීට වසර 40කට පෙර එනම් 1984 වර්ෂයේ නිකුත්වූවකි. එය පෘථිවියේ සිටින අප වෙත කරා පැමිණීමට එතරම් කාලයක් ගතවී ඇති බවද ආචාර්ය විල්සන් වැඩිදුරටත් පවසයි.