‘ඩුබායි සුද්දා’ ගේ අපරාධ සඳහා යතුරුපැදි සැපයූ දෙදෙනෙක් අත්අඩංගුවට

‘ඩුබායි සුද්දා’ ගේ අපරාධ සඳහා යතුරුපැදි සැපයූ දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශගතව සැඟව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන “ඩුබායි සුද්දා” ගේ අපරාධ සඳහා යතුරුපැදි සොරාගෙන මුදලට සැපයූ පුද්ගලයන් දෙදෙනෙකු හෝමාගම පිටිපන ප්‍රදේශයේදී හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 20 මිලිගෑම් 600 ක ප්‍රමාණයක් හා යතුරුපැදි අංක තහඩු දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.

මීට මාස කීපයකට ඉහතදී හෝමාගම, පිටිපන, ඉස්කෝලේ හන්දිය ආසන්නයේ නවතා තිබූ යතුරුපැදියක් අස්ථානගත වී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් සී.සී.ටී.වි කැමරා දර්ශන ඔස්සේ විමර්ශන කටයුතු සිදුකරමින් සිටි හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් හට මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ලද හෝඩුවාවක් මත හෝමාගම නගරයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඔවුන් දෙදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙන විත් සිදුකළ විමර්ශන වලදී පාතාල කල්ලි නායකයින් කිහිප දෙනෙකු සමග ඇති සබඳතා පිළිබඳව අනාවරණය කර ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.

ඉකුත් ජනවාරි 23 දින මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට වෙඩි තබා ඝාතනය කර පලා ගිය සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට පත්ව දැනට බන්ධනාගාර ගතව සිටින “චීසා” නැමති පාතාල කල්ලි සාමාජිකයා හමුවීමට මින් එක් සැකකරුවෙකු බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ඔහු විසින් ලබාගත් දුරකථන අංකයකට දින කීපයකට පසු ලැබුණු වට්සැප් දුරකථන ඇමතුමක් මගින් හඳුනාගත් ඩුබායි සුද්දා නමැති පාතාල කල්ලි නායකයා සමග එක්ව අපරාධ ක්‍රියාකාරකම් සිදුකිරීමට යතුරුපැදි සොරකම් කිරීමට සම්බන්ධ වී කටයුතු කළ බව සැකකරුවන් පාපොච්චාරනය කළ බවද පොලිසිය පැවසීය.

ඩුබායි සුද්දාගෙන් ලැබුණු පළමු වන කොන්ත්‍රාත්තුව අනුව හෝමාගම, පිටිපන, ඉස්කෝලේ හන්දිය ආසන්නයේ නවතා තිබූ (FZ) වර්ගයේ යතුරුපැදිය සොරකම් කළ බවත් එය සොරකම් කිරීමෙන් පසු අංක තහඩු ගලවා හබරකඩ ප්‍රදේශයේ පාලු ඉඩමක නවතා දමා එන ලෙසට ඩුබායි සුද්දාගෙන් ලද උපදෙස් මත එය සිදුකළ බවත් ඊට අදාළ මුදල් තම බැංකු ගිණුමට ලැබුණු බවත් සැකකරුවන් ප්‍රකාශ කළ බව පොලිසිය පැවසීය.

එක් යතුරුපැදියක් ලබාදීම වෙනුවෙන් රුපියල් 50000ක මුදලක් ලබා දුන් බවත් සැකකරුවන් අනාවරණය කර ඇත.

මෙවැනි ආකාරයෙන් අපරාධ සඳහා යොදාගැනීමට යතුරුපැදි කිහිපයක් සොරකම් කර ඇති බවත් පිටිපන ප්‍රදේශයේ සොරකම් කරන ලද යතුරුපැදියේ අංක තහඩු දෙක හබරකඩ ප්‍රදේශයේ ඉඩමක් අසල තිබූ කෙසෙල් පඳුරක් අස්සේ සඟවා තිබීයදි සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයා ගත් බවත් පොලිසිය සඳහන් කරයි

මේ අයුරින් ඩුබායි සුද්දාගේ උපදෙස් මත යතුරුපැදි කීපයක් සොරා ගත් බවත් ඒවා හබරකඩ පාළු ඉඩමක නතර කිරීමෙන් අනතුරුව කුමන කාර්යයක් සඳහා කවුරුන් විසින් රැගෙන ගියාදැයි කීමට තමන් නොදන්නා බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා 24 හා 26 වැනි වයස් කාණ්ඩවල පසු වන හෝමාගම, මායා මාවත ප්‍රදේශයේ සහ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.