මීළඟ මිල සංශෝධනයේදී සිදුවෙන දෙයක් ගැන මුදල් රාජ්‍ය ඇමැති කියයි

මීළඟ මිල සංශෝධනයේදී සිදුවෙන දෙයක් ගැන මුදල් රාජ්‍ය ඇමැති කියයි

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත යෑම සහ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිපදවීමේ ධාරිතාව උපරිම මට්ටමට ළඟා වීම මත මීළඟ මිල සංශෝධනයේදී තෙල් මිල සහ විදුලිය බිල පහත දැමීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.

අදාළ සංශෝධනය මඟින් දැනට පවතින සියයට 15ක වැට් බදු සීමාව සියයට 18ක් දක්වා ඉහළ නැංවීම සහ භාණ්ඩ 97ක වැට් බදු ඉවත් කිරීම සිදු වන බව ද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මෙම සංශෝධනය මඟින් රාජ්‍ය ආදායම සියයට 1.2කින් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන අතර එය රුපියල් බිලියන 378ක ආදායමක් බව ද අමාත්‍යවරයා පැවැසීය.

සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන් මීට පෙර වැය කළේ රුපියල් බිලියන 65ක් පමණ වන අතර එය ලබන වසරේදී රුපියල් බිලියන 209ක් දක්වා ඉහළ නැංවීමට යෝජිත බවත් මීට පෙර ඒ සඳහා ලෝක බැංකු ආධාර හිමි වුව ද ලබන වසරේ සිට එම මුදල් රජය විසින් උපයා ගත යුතු බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

දැනට සියයට 9.1ක මට්ටමේ සීමාව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 2024 වසරේදී සියයට 12.5ක මට්ටමට රැගෙන යාම රජයේ අපේක්ෂාව වන බවත් 2025 වසර වන විට එම සීමා සියයට 15 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිත අතර ඒ සඳහා වන ආර්ථිකමය ප්‍රතිසංස්කරණ සිදු කරමින් පවතින බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.

මීට පෙර සියයට 20 සිට සියයට 80 දක්වා වූ අනුපාතයේ පැවැති ඍජු සහ වක්‍ර බදු අනුපාත අද වන විට සියයට 30 – 70ත් මට්ටමට පැමිණ ඇතැයි ද එය තවදුරටත් සංශෝධනය කිරීමේ යෝජනා මෙවර අය වැයට ඇතුළත්ව ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Share This