ලංකාවේ ප්‍රථම ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹේ

ලංකාවේ ප්‍රථම ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹේ

ශ්‍රී ලංකාවේ පළමු ඩ්‍රෝන තාක්ෂණ නියමු පාඨමාලාව ආරම්භ කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කෘෂිකර්මාන්ත ආංශික නිපුණතා සභාවේ හා තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන කෘෂි තාක්ෂණ ව්‍යාප්ති මධ්‍යස්ථානය විවෘත කිරීම අද (07) සිදුවිය. නාරාහේන්පිට නිපුණතා පියස පරිශ්‍රයේ එය ස්ථාපිතය.

එම අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේ, ඩ්‍රෝන තාක්ෂණ භාවිතය මගින් ඉදිරියේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි.

පුහුණු මානව ශ්‍රම සම්පත් හිඟයට විසඳුමක් ලෙස මෙන් ම මානව ශක්‍යතා අභිභවා ගොස් ජයගත යුතු වෘත්තීය ක්ෂේත්‍රයේ දුෂ්කරතා මගහරවා ගනිමින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නංවා ගැනීමටත් එමගින් අවකාශ සැලසෙන බව අමාත්‍යවරයා පැවසීය.

ඒ ඔස්සේ වේගවත් තාක්ෂණික දියුණුවක් ඇති කරමින් වත්මන් ලෝකය ගමන් කරන හතර වෙනි කාර්මික විප්ලවය හඹා යාමට, ඊට බොහෝ පිටුපසින් සිටින අප රටට ද අවකාශ විවර වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.