රියදුරුගේ වික්‍රමයෙන් විශාල අනතුරක් වැළකෙයි

රියදුරුගේ වික්‍රමයෙන් විශාල අනතුරක් වැළකෙයි

දිගන කෙන්ගල්ල මාර්ගයේ ඉඩමක තිබූ දිරාගිය සියඹලා ගසක් පාසල් සිසුන් රැගෙන ගියවෑන් රියකට කඩා වැටී සිදුවන්නට ගිය හානිය වළක්වා ගැනීමට යාමෙන් වෑන්රිය අනතුරට ලක්වී පස් දෙනකු රෝහල්ගතකර ඇතැයි පොලීසිය පැවසීය.

මාර්ගයේ තිබු ගස එක්වරම කඩා වැටීමත් සමඟ එය දුටු වෑන් රථ රියදුරු අනතුර වළක්වා ගැනීම සඳහා උත්සාහා කිරීමේදී රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ඇති බැම්මක හා දුරකථන කණුවක හැපී ඇතැයි තෙල්දෙණිය පොලිසිය කියයි.

අද (10) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් වෑන් රථයේ රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වාහනේ ගමන් ගත් ගුරුවරියන් දෙදෙනෙකු හා පාසල් සිසුන් කිහිපදෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

එම දිරාගිය සියඹලා ගස ඉවත් කරන ලෙස ප්‍රදේශවාසීන් විසින් ඉඩමේ හිමිකරුට සහ අදාළ බලධාරීන්ට දැනුම් දී තිබුණත් ඉන් පලක් නොවූ බව ප්‍රදේශවාසීහු පවසති.