උසස් පෙළ සහිත පාසල් 3,000 ක් ඩිජිටල්කරණයට‍

උසස් පෙළ සහිත පාසල් 3,000 ක් ඩිජිටල්කරණයට‍

අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ රටේ සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා අත්පත්කරදීම බවත්, එහි එක් පියවරක් වශයෙන් එළඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බවත්, ඒ අනුව නව තාක්ෂණය සමග සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

ඒ අනුව, මෙරට උසස් පෙළ සහිත පාසල් 3,000 ක් ඩිජිටල්කරණයට ලක් කෙරෙන අතර, මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කරන බවත්, අදාළ පාසල් සියල්ලට ම සුහුරු පුවරු ලබාදෙන බවත් (Smart Interactive Board) අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. මීට සමගාමී ව සෑම අධ්‍යාපන කලාපයක ම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන යාවත්කාලීන කර ඇති බව ද, අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මීට වසර එකහමාරකට පෙර රට පුරා තෙල් පෝලිම් පැවති, විදුලිය කප්පාදු වූ ගෑස් නොතිබුණු, පාසල් වසා තිබූ අභියෝගාත්මක කාලවකවානුවක අධ්‍යාපන විෂය භාර අමාත්‍ය ධුරය තමා භාරගත් බවත්, එම තත්වයෙන් අත්මිදෙමින් නැවත ක්‍රමවත් ව පාසල් පද්ධතිය පවත්වාගෙන යාමට ඉතා කෙටි කාලයක් තුළ අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගැනීමට හැකි වූ බවත් සිහිපත් කළ අමාත්‍යවරයා, දරුවන් වෙනුවෙන් රටේ අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කරලීම සඳහා සියලු‍ දෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය වන බව ද, ඉදිරි සති කිහිපය තුළ රටේ සෑම පළාතකට ම ගොස් මේ සම්බන්ධයෙන් සියලු‍ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට තමා අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහි දී සම්මානිත මහාචාර්ය විද්‍යාඥ සිවා සිවනාදන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් එම විද්‍යාලයට සුහුරු පුවරු ලබා දීම ද සිදුවිය. මේ අවස්ථාවට සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද, හින්දු විද්‍යාලයේ විදුහල්පති ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.