රට පුරා ආර්ථික සංවර්ධන නිලධාරීන් 14000 ක් හෙට ලෙඩ වෙයි

රට පුරා ආර්ථික සංවර්ධන නිලධාරීන් 14000 ක් හෙට ලෙඩ වෙයි

රට පුරා සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීන් 14022ක් සිය වෘත්තීය ගැටලුවලට විසඳුම් ඉල්ලා ‍හෙට (29) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ.

2013 වසරේ සිට රජය මඟින් ග්‍රාමීය මට්ටමේ ක්‍රියාත්මක කරන ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්, සමාජ සුභසාධන වැඩසටහන්, හදිසි ආපදා වැඩසටහන්, සංගණන, සමීක්‍ෂණ ආදී සියළුම වැඩසටහන්වලට සක්‍රීයව දායකත්වය ලබා දෙන ආර්ථික සංවර්ධන නිලධාරීන් දීර්ඝකාලීනව තමන් පීඩාවට පත් කරන වෘත්තීය ගැටළුවලට විසඳුම් ඉල්ලා මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි, සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් එරන්ද උඳුගොඩ කියා සිටියේ.

එම ක්‍රියාමාර්ගය තුලිනුත් විසඳුම් නොලැබෙන්නේ නම් මැයි 06 දින සිට දැනට ක්‍රියාත්මක වන දිස්ත්‍රික් විමධ්‍යගත වැඩසටහන්වලින් හා කඳුකර දශකය නමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහනෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීමට තීරණය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ආර්ථික සංවර්ධන නිලධාරියාගේ කාර්යාල දීමනාව 2013 න් පසු කිසිදු සංශෝධනයකට ලක් කර නොමැති බවත් රු. 750/- ක සොච්චම් මුදලකින් කාර්යාලයක් පවත්වාගෙන යාමට සිදුවී ඇති බවත් එහෙත් ඇතැම් නිලධාරීන්ට කාර්යාල දීමනාව වශයෙන් රු. 3000 ක් ගෙවීමට අනුමත කර ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ක්‍ෂේත්‍රයේ රාජකාරී ඉටුකිරීමේදී ආර්ථික සංවර්ධන නිලධාරීන්ට ගමන් වියදම්, ලිපිද්‍රව්‍ය වියදම් හා සන්නිවේදන වියදම් වැනි වියදම් පෞද්ගලිකව දැරීමට සිදුව ඇතත් එම වියදම් ආවරනය කර ගැනීමට ක්‍රමවේදයක් ලබා දී නොමැති බවත් ඔවුහු පවසති.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳහා පරිපාලන වියදම් වෙනුවෙන් 3% ක ප්‍රමානයක් වෙන් කරනු ලබන අතර එම වෙන් කිරීම්වලින් ආර්ථික සංවර්ධන නිලධාරියාට කිසිදු ගෙවීමක් අනුමත කර නැති බවද ඔවුහු කියති.

ඒ අනුව,

  1. ආර්ථික සංවර්ධන නිලධාරීන්ට පරිපාලන වියදම් සඳහා කරනු ලබන වෙන් කිරීමෙන් 1/3 ක් ලබා දීම
  2. ස්ථීර ගමන් වියදම් දීමනාවක් ලබා දීම
  3. ස්ථීර ලිපිද්‍රව්‍ය දීමනාවක් ලබා දීම
  4. ආර්ථික සංවර්ධන නිලධාරීන්‍ගේ අවම කාර්යාල දීමනාව රු. 3000/ දක්වා වැඩි කිරීම, යන මූලික ඉල්ලීම් 04 පදනම් කරගෙන මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ලේකම්වරයා පවසයි.
Share This