ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යාමේ අවදානමක්

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යාමේ අවදානමක්

ඉදිරි මාස කිහිපයේ දී ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එබැවින් ජනතාව ඒ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු කළ යුතු බවයි, ශ්‍රී ලංකා ප්‍රජාවිශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ.

ජනවාරි 01 වැනි දින සිට මේ මස 07 වැනි දින දක්වා වූ මේ වසරේ පළමු සති18 තුළදී ඩෙංගු රෝගීන් 31450 ක් වාර්තා වී තිබෙන බවත්, පසුගිය වසරේ පළමු සති 18 තුළ වාර්තා වී තිබෙන්නේ රෝගීන් 18641 ක් බවත් එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.

මේ වසරේ 18 වැනි සතියේදී පමණක් ඩෙංගු රෝගීන් 1954 ක් වාර්තාවී තිබේ. එය 17 වැනි සතියේ වාර්තා වූ රෝගීන්ගේ ප්‍රමාණය සැලකීමේදී 3% ක වර්ධනයකි. මේ වසරේ 18 වැනි සතිය දක්වා වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන්ගෙන් 51.7 %ක් වාර්තාවී තිබෙන්නේ බස්නාහිරපළාතෙන් බවත්, ඩෙංගු වයිරසය ශරිරගත වූ පුද්ගලයන් අතරින් 75% ක පමණ රෝග ලක්ෂණ නොපෙන්වන බවත්හෙතෙම සඳහන් කළේය.

දින දෙකත් හතත් අතර පැවතිය හැකි අධික උණ හා හිසරදය, ඇස්යට වේදනාව, ඕක්කාරය, වමනය, සමේ රතුලප හටගැනීම රෝග ලක්ෂණ බවත්, ඩෙංගු රෝගය කලින් හඳුනා ගැනීම ඔස්සේ රෝගියාගේ ජීවිතාරක්ෂාව පමණක් නොව පැතිරීම සීමා කර ගැනීම පහසුවන බවත් පැවසීය.

නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම සහ රෝගී සත්කාරය ඉතා වැදගත් බවද, ඩෙංගු උණ යැයි සැකකරන විට ප්‍රමාණවත් තරම් විවේක ගැනීම, වෙහෙසකර ක්‍රියාකාරකම්වලින් වැළකී සිටීම, කුඩා දරුවකු නම් පාසල් යැවීමෙන් වැළකීම හා උණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතු බවද වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

Share This