ඔන්ලයින් ණය දෙන ආයතන නියාමනයට නව පනතක්

ඔන්ලයින් ණය දෙන ආයතන නියාමනයට නව පනතක්

අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන සියලු ආයතන නියාමනය කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබේ.

රටේ පවතින ආර්ථික තත්ත්වය මත මෙලෙස ණය ලබාදෙන ආයතන දිනෙන් දින වැඩිවීම හේතුවෙන් එම ආයතන නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමටද ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා කර තිබේ.

ණය ලබා දෙන ආයතන නියාමනය කිරීම සඳහා වන පනත් කොටුම්පත මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත විශාල වශයෙන් ජනතාව ණය ලබා ගැනීමට පෙලඹී තිබෙනවා. අන්තර් ජාලය හරහා විශේෂයෙන් මුහුණු පොත හරහා ණය ලබා දෙන ආයතන රැසක් තිබෙනවා. ණය ලබාදෙන ආයතන විසින් පළමු ණය වාරිකය නොමිලේ ලබා දෙන බව පවසනවා. ගනුදෙනුකරුවකු විසින් එම ණය මුදල ගෙවීමෙන් අනතුරුව වැඩි මුදලක් ගන්න අවස්ථාව හිමිවෙනවා. නමුත් එම ණය මුදලට සියයට 30 සිට 40 දක්වා පොලී මුදලක් අය කරනවා. ආර්ථික අපහසුතා හමුවේ අන්තර්ජාලය ඔස්සේ ණය ලබා ගත් විශාල පිරිසක් එම මුදල් ගෙවා ගැනීමට නොහැකිවී දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා යැයි එම නිලධාරියා සඳහන් කළේය.

අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන ආයතන මගින් ණය ලබාගත් පුද්ගලයින්ට අත් විඳීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සඳහා සහනයක් අදාළ පනත ගෙන ඒම තුළින් ලබාදීමට රජය අපේක්ෂා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This