web hit counter
වගා හානි සිදු වූ ගොවීන්ට නොමිලේ ඩීසල්

වගා හානි සිදු වූ ගොවීන්ට නොමිලේ ඩීසල්

යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000ක් අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම සහනය ලබා දෙනු ලබන්නේ රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදල හා හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් දෙන වන්දි මුදලට අමතරවය.

පසුගිය මහ කන්නයේ දී චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.5ක් ලබා දුන් අතර කුඩා ප්‍රමාණයේ කුඹුරු වගා කරන ගොවීන් විශාල පිරිසක් තමන්ට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට නොපැමිණීම නිසා ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරිව තිබූ බව අමාත්‍යාංශය කියයි.

එමනිසා මෙම ඉන්ධන තොගය මෙවර මහ කන්නයේ දී වගා කටයුතු සිදු කිරීමට නොහැකිව සිටින යල කන්නයේ දී වගා හානි සිදුවූ ගොවි ජනතාවට ලබා දීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ..

ඒ අනුව එක් ගොවියෙකුට ලීටර් 40ක ප්‍රමාණයක් බැගින් මෙම ඉන්ධන ප්‍රමාණය වගා හානි සිදුවූ සියලු ගොවීන් අතර වහාම බෙදා හැරීමට පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ අදාල සියලු නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඉදිරි දින දෙක තුළ මෙම ඩීසල් ‌ තොගය වගා හානි සිදුවූ සියලු ගොවීන්ට බෙදාහැරිමට නියමිතය.

 

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )