වැග්නර් කුලී හමුදා නායකයා ජීවිතක්ෂයට

වැග්නර් කුලී හමුදා නායකයා ජීවිතක්ෂයට

රුසියා – යුක්‍රේන යුද්ධයේ දී රුසියාවට පක්ෂග්‍රාහීව කටයුතු කර පසුව රුසියාවට එරෙහිව කැරැල්ලක් නිර්මාණය කළ වැග්නර් කුලී හමුදා නායක Yevgeny Prigozhin ගුවන් යානා අනතුරකින් මියගොස් තිබෙනවා.

රුසියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශයට පත් කළේ, Prigozhin සහ වැග්නර් කණ්ඩායමේ අණදෙන නිලධාරි Dmitry Utkin ඇතුළු මගීන් හත් දෙනෙකුගේ මෙම අනතුරෙන් මියගොස් ඇති බවයි.

එසේම ඔවුන් ඇතුළු, අදාළ යානයේ සිටි 10 දෙනෙකු අනතුරෙන් මියගිය බව ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රුසියාවේ – මොස්කව් නගරයට උතුරින් මෙම ගුවන් යානය කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.

මෙම යානය අහසින් කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිටත් මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

“මෙතෙක් තහවුරු කර නොමැති රුසියානු මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම යානය ගුවන් ආරක්ෂක පද්ධති මගින් බිම හෙළීමට බොහෝ ඉඩ තිබූ බවයි” මොස්කව්හි මාධ්‍යවේදියෙකු වන ඩැනියෙල් හෝකින්ස් අල් ජසීරා මාධ්‍ය ආයතනය වෙත ප්‍රකාශ කර ඇත්තේ එලෙසින්.

කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය එය ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වනවා.

ජූනි 23 වැනි දින රුසියාවේ හමුදා නායකත්වයට එරෙහිව ප්‍රිගොෂින් විසින් කෙටි කාලීන සන්නද්ධ කැරැල්ලකට නායකත්වය දී මාස දෙකකට පසු මෙම අනතුර සිදු වීම ද විශේෂත්වයක්.

යුක්‍රේන යුද්ධයේ දී, රුසියාව වෙනුවෙන් යොදවා සිටි වැග්නර් කුලී හේවායන්ට එරෙහිව රුසියානු හමුදාව විසින්ම ප්‍රහාර දියත් කළ බව Prigozhin ප්‍රකාශ කිරීමෙන් පසුව රුසියාවට එරෙහි වැග්නර් කුලී හමුදා කැරැල්ල ආරම්භ වුණා.

රුසියානු හමුදා නායකත්වය දූෂිත හා අකාර්යක්ෂම ලෙස හඳුන්වමින්, Prigozhin තම සටන්කාමීන් දේශසීමා හරහා රුසියාවට ගෙන යාමට කටයුතු කළ අතර එහිදී ඔවුන් Rostov-on-Don නගරය අල්ලා ගත්තා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකු ලෙස සිටි වැග්නර් නායක Prigozhin රුසියානු හමුදා සහ ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වයට එරෙහිව ප්‍රකාශ සිදු කළ නමුත් තම සගයා වූ ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ප්‍රකාශ සිදු කළ බවට වාර්තා පල වූයේ නැහැ.

ඉන්පසු, වැග්නර් හමුදා Rostov-on-Don නගරය අල්ලා ගැනීමෙන් පසුව, මොස්කව් දෙසට ගමන් කිරීමට කටයුතු කළා.

යුක්‍රේන යුද්ධයේ දී Prigozhinගේ වැග්නර් කුලී හමුදාව රුසියාවට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් අතර ඒ හේතුවෙන් වැග්නර් සාමාජිකයන් බොහෝ පිරිසක් යුද බිමේදී මිය ගිය බව ද සඳහන්.

කෙසේ වෙතත්, තම සටන්කරුවන් සඳහා ප්‍රමාණවත් ආයුධ සහ සැපයුම් මාස ගණනාවක් තිස්සේ ලැබී නොමැති බවට පැමිණිලි කිරීමත්, Prigozhinගේ වැග්නර් හමුදාව යුක්‍රේන යුද්ධයෙන් ඉවත් වී රුසියාවට එරෙහිව තම කැරැල්ල දියත් කිරීමට තවත් එක් හේතුවක්.

කෙසේ වෙතත්, මෙම සිදුවීම ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ දශක දෙකක බලයේ ග්‍රහණයට එල්ල වූ බරපතලම අභියෝගය ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව, වැග්නර් හමුදා රුසියාවේ Rostov-on-Don නගරය අල්ලා ගැනීමෙන් පසු මොස්කව් වෙත ළඟා වීමට පෙර, බෙලරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මැදිහත්කරු ලෙස ඊට මැදිහත් වුණා.

අනතුරුව, වැග්නර් කුලී හමුදා නායක Prigozhin සිය හමුදාව සමග රුසියාවෙන් ඉවත් වී බෙලරුසියාව බලා ගමන් ගත්තා.

වැග්නර් කුලී හමුදා නායක Prigozhin විසින් මෙලෙස කටයුතු කිරීම රුසියානු ජනාධිපති Vladimir Putinගේ කීර්තිනාමයට ඉතා අහිතකර ලෙස බලපෑම් ඇති කළ බවයි බොහෝ විශ්ලේෂකයන් එවක දී පෙන්වා දුන්නේ.

වැග්නර් කුලී හමුදාවට එය අහිතකර තත්ත්වයක් බව ද පෙන්වා දුන් එම විශ්ලේෂකයන්, වැඩි දුරටත් සඳහන් කළේ ලෝකයේ ප්‍රබල හමුදාවක් වන රුසියානු හමුදාවට එරෙහිව වැග්නර් කුලී හමුදාව දියත් කළ කැරැල්ල ඉතා අනුවන ක්‍රියාවක් බවයි.

එවන් පසුබිමක, රුසියාවට එරෙහි වූ වැග්නර් කුලී හමුදා නායක Prigozhin මෙලෙස ගුවන් අනතුරකින් හදිසියේ මියයාම සම්බන්ධයෙන් ද පවතින්නේ ප්‍රශ්නාර්ථයක් පමණි….

අදාළ අනතුර සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ වීඩියෝ කිහිපයක් පහතින්…

Share This