“ආර්ථිකය කන විශාල මීයෙක් ඉන්නවා” ඩලස් කියයි

“ආර්ථිකය කන විශාල මීයෙක් ඉන්නවා” ඩලස් කියයි

“මුදල් අමාත්‍යාංශය තුළ ආර්ථිකය කන විශාල මීයෙක් සිටිනවා. මේ මීයත් එක්ක බැලුවම, Sri Lankan ගුවන් සේවය ඇතුළේ හිටියේ “බටු මීයෙක්” මුදල් අමාත්‍යාංශය ඇතුළෙයි, තඩි මීයා ඉන්නෙ. ආර්ථික ”මී උණ” රෝගයෙන් බේරාගන්න නම් කළ යුතු පළමු දේ මේ මීයා උගුලට අසු කර ගැනීමයි.” යැයි නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ නාවල කොස්වත්ත “නිදහස” ප්‍රධාන කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීය.

දිවා ආහාරය දෙන පාසල් දරුවන් සංඛ්‍යාව ලක්ෂ එකොළහ ලක්ෂ විස්ස දක්වා වැඩි කරන ලෙස කැබිනට් පත්‍රිකා දෙකක් විෂභාර ඇමැතිවරයා ඉදිරිපත් කළද ඊට මුදල් අමාත්‍යාංශය දෘශ්‍යාබාධිත රෝගියෙක් ලෙස හැසිරෙන බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

“පසුගිය සඳුදා මුදල් අමාත්‍යාංශය ගැසට් එකක් ගැහුවා කුළුබඩු ප්‍රතිඅපනයන කිරීමට අවසර දීලා. මේක පිටිපස්සෙ තිබුණේ කුමන්ත්‍රනයක්. ගම්මිරිස්, කුරුඳු, කහ, ඉඟුරු, සාදික්කා වැනි කුළුබඩුවලට ශ්‍රී ලංකාව කියන්නේ ඉහළම සන්නාමයයි. අපේ තේවලට කළා වගේම පිටරටින් බාල කුළුබඩු ගෙනත් මිශ්‍ර කරලා Sri Lanka Brand එකක් යවන්නයි කුමන්ත්‍රණය තිබුණේ. අද වී අලෙවි මණ්ඩලය කියනවා මහ කන්නේ වී මිලදී ගන්න භාණ්ඩාගාරය සල්ලි දෙන්නේ නෑ කියලා. සියයට 8 පොලියට පෞද්ගලික බැංකු වලින් තමයි ගන්න වෙන්නේ කියලා. වී ගොවිතනත් විනාශ කරලා වෙළඳ මාෆියාවට පාවඩ එලන්නයි හදන්නේ.” යැයිද හෙතෙම කිවේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පොත බැලුවා දැයි මාධ්‍යවේදීන් මන්ත්‍රිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

“Ghost Writer” කෙනෙකු විසින් ඉතා හරවත් භාෂාවකින් එය ලියා තිබෙනවා. හැබැයි එහි නම වෙනස් කළ යුතුයි ” 69 ලක්ෂයක නපුරු හීනය” ලෙස. එය නම් කොට අවශ්‍ය නම්, “Nightmare of a Nation” කියලා ඉංග්‍රීසියට පරිවර්ථනය කරන්නත් පුළුවන්.

එමෙන්ම ජනාධිපතිවරයගේ කුලියාපිටි කතාව සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකදී මන්ත්‍රිවරයාගේ පිළිතුර වූයේ, එදිනම ඇමරිකාවේ OSKA සම්මාන උළෙලේ වේදිකාවට ජෝන් සීනා නිරුවතින් පැමිණි බවත්, අපේ “සීනා” වේදීකාවේදී නිරුවත් වූ බවත්ය. තරුණයන් කිව්වොත් පුදුම වෙන්න එපා එහේ ජෝන් සීනා මෙහේ සීන් ජෝනා කියලා.