“සයිබර් ආරක්ෂාව” විෂයයක් ලෙස හඳුන්වා දීමට පියවර

“සයිබර් ආරක්ෂාව” විෂයයක් ලෙස හඳුන්වා දීමට පියවර

ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ, සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංවිධාන කළ සය මාසික පුහුණුව අවසානයේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පසුගියදා පැවැති සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල්කරණය ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය අංශයේ ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් හා මාධ්‍ය වේදීන් සදහා මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර තිබුණි.

රාජ්‍ය ආයතන 37ක නිලධාරීන් 60ක් සහ මාධ්‍යවේදීන් 40ක් වෙනුවෙන් මෙහිදී සහතික පත් ප්‍රදානය සිදු විය.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් සඳහා මෙවැනි සය මාසික පුහුණුවක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වෙයි. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රාජ්‍ය ඇමැතිවරයා:“සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් මාස හයක කාලයක් රාජ්‍ය නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට පුහුණුව දී තිබෙනවා. එයින් දෙන සහතිකය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එකක්. මේ වැඩසටහන සම්බන්ධයෙන් බොහෝ කලක් කතා කළා. ඉතිහාසයේ පළමු වරට මෙවැනි ආකාරයේ සහතිකයක් නිකුත් කර තිබෙනවා. එහි පළමු කණ්ඩායම ලෙස මේ කණ්ඩායම සහතික ලබනවා. ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ, ආයතනවලින් මේ කණ්ඩායම තෝරාගෙන තිබෙනවා. ඒ නිසා මේ නිලධාරීන්ට ලොකු ගමනක් යන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ඩිජිටල් නිලධාරීන් වශයෙන් රාජ්‍ය අංශයේ සෑම ආයතනයකටම බඳවා ගන්නට බලාපොරොත්තු වෙනවා. එක් පැත්තකින් සයිබර් ආරක්ෂාව සඳහා ක්‍රියාත්මක වෙනවා මෙන්ම ඩිජිටල්කරණය සඳහා නායකත්වය දෙන කණ්ඩායමක් මෙලෙස පුහුණු කරනවා. 2006 වසරේ දී ආරම්භ වුණු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අපේ රටේ රාජ්‍ය සේවය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරනවා..”

“අපි පසුගිය වසරේදී ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා. සියලු පාර්ශ්ව සම්බන්ධ වෙලා එය මාස හයක පමණ කාලයකින් ඉදිරිපත් කළා. ඒ අනුව පසුගිය සතියේදී ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. එහි සයිබර් ආරක්ෂණය, දත්ත ආරක්ෂණය ප්‍රධාන වෙනවා. පසුගිය වසරේදී දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවා තිබෙනවා. සයිබර් ආරක්ෂණ පනත ඉදිරියේදී අනුමත කරගන්න අපේක්ෂා කරනවා. අපේ රටේ සයිබර් ආරක්ෂණ කටයුතු එයින් අපේක්ෂා කරනවා.”

“ඒ වගේම අපේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද අපි පියවර ගතයුතු වෙනවා. මාධ්‍යවේදීන්ට ද මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් පැවරෙනවා. එය රාජ්‍ය නිලධාරීන්ට පමණක් සීමා වන්නේ නැහැ. ගම් මට්ටම දක්වා මහජනතාව, දරුවන් දැනුවත් කළ යුතු වෙනවා. “ලබන වසරේ සිට පාසල් දරුවන්ට සයිබර් ආරක්ෂාව විෂයයක් ලෙස හඳුන්වා දෙන්න බලාපොරොත්තු වනවා.”

මෙහිදීසයිබර්ආරක්ෂාවපිලිබඳපුහුණුසදහාසහයලබාදීම සදහා ජාත්‍යන්තර තොරතුරු පද්ධති ආරක්ෂණ සහතික කිරීමේ සම්මේලනයේ ISC2colomboපාර්ශවය,තොරතුරු තාක්ෂණ කර්මාන්ත කරුවන්ගේ සම්මේලන ශ්‍රීලංකා සර්ට් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් හුවමාරු කරගැනීම ද සිදුවිය

තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්ෂත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු නිලධාරි Andrew Shin, ශ්‍රීලංකා සර්ට් ආයතනයේ සභාපති ජානක සම්පත්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ප්‍රධාන විධායක ආචාර්ය කනිෂ්ක කරුණාසේන, ජාත්‍යන්තර තොරතුරු පද්ධති ආරක්ෂණ සහතික කිරීමේ සම්මේලනයේ ISC2colomboපාර්ශවයේ සභාපති සුජිත් ක්‍රිස්ටි ‘තොරතුරු තාක්ෂණ කර්මාන්ත කරුවන්ගේ සම්මේලනයේ සභාපති ඉන්දික සොයිසා අතු පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියහ.