ලොරි රථයක අලියෙක් ගැටී දෙදෙනෙක් මරුට – 4කට තුවාල

ලොරි රථයක අලියෙක් ගැටී දෙදෙනෙක් මරුට – 4කට තුවාල

මොරගහකන්ද ජලාශ මාර්ගයේ සිට නාඋල දෙසට ධාවනය වු කුඩා ලොරි රථයක වන අලියෙකු ගැටී රථය පෙරළී යාම
හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇතැයි නාඋල පොලිසිය කියයි.

මොරගහකන්ද – වදුරුමුල්ල ප්‍රදේශයේ දී අද (05) අළුයම එකට පමණ අනතුර සිදුව තිබේ.

මාදියාවෙල, පුබ්බිලිය ප්‍රදේශයේ පදිංචි කෝරළේගෙදර සෙණරත් අසංක බණ්ඩාර යන අය විසින් පුද්ගලයින් අට දෙනෙකු රැගෙන මොරගහකන්ද සිට කෝන්ගහවෙල දෙසට ලොරි රථය ධාවනය කරමින් සිටියදි වන අලියෙකු එක් වරම මාර්ගය හරහා ගමන් කිරිමේ දී ලොරි රථය එම අලියාගේ ගැටීමෙන් පසු ලොරිය පෙරළී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සිදුකල මුලික පරික්ෂණ වල දී අනාවරණය වී තිබේ.

අනතුර හේතුවෙන් ලොරි රථයේ පිටුපස තට්ටුවේ ගමන් ගත් සූරියවැව, සිංහපුර, ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂ දේවයලාගේ දිලුක නුවන් (25) යන අය හා නාවල, ගනේවත්ත නිකදළුපොත පදිංචි ඥානපුර හේනයලාගේ ධනන්ජය නවරත්න යන අයවලුන් බරපතල තුවාල ලබා කෝනගහවෙල රජයේ රෝහලට ඇතුලත් කිරිමේ දී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් ලොරි රථයේ ගමන් ගත් සෙසු පුද්ගලයන් තුවාල ලබා අඹන රෝහලට ඇතුලත් කල අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බරපතල තුවාල ලැබූ දෙදෙනකු මාතලේ මහරෝහල වෙත මාරුකර යවා ඇත.

සිද්ධියෙන් පසු ලොරි රථය පැදවු පුබිබිලිය, කෝරලේගෙදර සෙරත් අසංක බණ්ඩාර යන අය පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහන ගමගේ මහතාගේ හා මාතලේ සහකාර පොලිස් අධිකාරි( 2) යු.ජි.පි.කේ. රත්නායක මහත්වරුන්ගේ උපදෙස් පරිදි නාඋල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක මහතාගේ අධීක්ෂනය යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක හේරත් මහතා ප්‍රමුඛ නිලධාරින් කණ්ඩායමක් සිද්දීය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ පවත්වති.

ලොරියක වන අලියෙකු ගැටී දෙදෙනෙකු මරුට..