ලංගම බස් වර්ජනයක්

ලංගම බස් වර්ජනයක්

හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ වෘත්තීය සමිති නායකයෙකු වන ඩිපෝ පරීක්ෂකවරයකු පෞද්ගලික බස් රථයකින් රැගෙන ගොස් පහර දීමේ සිද්ධිය හෙළා දකිමින් රජරට බස් සමාගමේ ලංගම බස් රථ සියල්ල අද (31 )උදේ සිට ධාවනයෙන් ඉවත්වී තිබේ.

දඹුල්ල, අනුරාධපුර ,කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව , කැබිතිගොල්ලෑව , යන රජරට බස් සමාගමට අයත් ඩිපෝ සියල්ලේම බස් රථ ධාවනයෙන් ඉවත්ව මෙම සිද්ධියට විරෝධය පළකරන්නට විය.

උදෑසන දඹුල්ල බස් ඩිපෝවේ සෑම බස් රථයක් ම ගාල් කර ප්‍රධාන ගේට්ටු වසා දමා ගේට්ටු ඉදිරිපිට විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් සේවකයෝ එළියේ බංකු මත වාඩි වී සිටින අයුරු දැක ගැනීමට හැකිවිය .

උදෑසන රැකියා සඳහා ගමන් කිරීමට පැමිණි බොහෝ මගී ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයන් පෞද්ගලික අංශ සේවකයන් දැඩි අපහසුතාවයට පත්ව තැන තැන ප්‍රධාන මාර්ගවල රැඳී සිටින අයුරු දැක ගැනීමට හැකි විය.

මහියංගණය ප්‍රදේශයේ සේවකයින් රැගෙන යන ලංගම බස් රථ නොමැතිවීම හේතුවෙන් ඔවුන් අසීරුතාවයකට පත්ව සිටි අතර බොහෝ මගී ජනතාව සඳහන් කළේ ඔවුන්ගේ පහරදීම් සිද්ධියක් මුල් කරගෙන සමස්ථ ජනතාවට මෙයාකාරයෙන් දඬුවම් ලබාදීම සාධාරණ නොමැති බවය.