කොවිඩ්වලට බයෙන් කොවිඩ් එන්නත 217 වරක් ලබාගත් පුද්ගලයෙක්

කොවිඩ්වලට බයෙන් කොවිඩ් එන්නත 217 වරක් ලබාගත් පුද්ගලයෙක්

ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙක් වෛද්‍ය උපදෙස්වලට පටහැනිව කොවිඩ් එන්නත 217 වාරයක් ලබගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම “The Lancet Infectious Diseases” සඟරාවේ ලේඛනගත කර ඇති බව සඳහන් වන අතර ඔහු මාස 29ක් තුළ ඔහුගේ පෞද්ගලික ධනයෙන් මෙම එන්නත් ලබාගෙන ඇති බව එහි දැක්වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂා කළ Erlangen-Nuremberg විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසන්නේ, එසේ මාත්‍රා විශාල ගණනක් ලබා ගත්තද මෙම පුද්ගලයා මෙතෙක් කිසිදු අයහපත් ප්‍රතිඵල අත්විඳ නොමැති බවයි.

විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ වෛද්‍ය කිලියන් ෂෝබර් පැවසුවේ, මේ පුද්ගලයා ගැන ඔවුන් දැනගත්තේ පුවත්පත් ලිපි මගින් බවයි.

පසුව ඔහුට Erlangen විශ්වවිද්‍යාලයේ විවිධ පරීක්ෂණවලට භාජනය වන ලෙස ආරාධනා කර ඇති අතර ඔහු උනන්දුවෙන් ඒවාට සහභාගී වී තිබේ.

පර්යේෂකයන් විසින් මෑත වසරවලදී ගබඩා කර තිබූ ඔහුගේ ශීත කළ රුධිර සාම්පල කිහිපයක් ද පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය එන්නත් කිරීමට ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද යන්න නිවැරදිව තීරණය කිරීමට මෙම සාම්පල භාවිතයෙන් හැකිවූ බවයි, පර්යේෂක කණ්ඩායම පවසන්නේ.

Share This