ජීවිතාන්ත සිරදඬුවමක් නියම වී සිටි අයෙකුට නිදහස

ජීවිතාන්ත සිරදඬුවමක් නියම වී සිටි අයෙකුට නිදහස

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 196.1 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරුවී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටි කොළඹ , මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සංජීව කුමාර හෙවත් සම්පත් නමැති විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මේනකා විජේසුන්දර සහ විකුම් කලුආරච්චි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්හ.

2003 වසරේ සැප්තැම්බර් මස 13 වනදා මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 503.2 ක් සන්තකයේ තබාගනිමින් සිටියදී පෑලියගොඩ හතරේ කණුව ප්‍රදේශයේදී පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි. ඉන් අනතුරුව අදාළ මත්ද්‍රව්‍ය ප්‍රමාණය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණු අතර එම මත්ද්‍රව්‍ය තුළ අඩංගු ශුද්ධ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 196.1 ක් ලෙස රජයේ රස පරීක්ෂකවරයා වාර්තාවක් එවමින් අධිකරණයට සඳහන් කර තිබුණි.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුට හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කෙරුණි. එම අධි චෝදනා විභාග කළ මහාධිකරණය විතිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

එම දඬුවමෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු විසින් අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කළේය.

එම ඇපෑල විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියේ මහාධිකරණ නඩු විභාගයේදී විත්තිකරු විසින් විත්තිකූඩුවේ සිට ඉදිරිපත් කළ විත්තිවාචකය, ඔහුගේ බිරිඳ සහ දියණිය ලබා දුන් සාක්ෂි මහාධිකරණ විනිසුරුවරයා විසින් නිසි ඇගයීමකට භාජනය කර නොමැති බවයි.

එසේම නඩු විභාගයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශය කාර්යාංශයේ නිල සාක්ෂිකරු ලබාදුන් සාක්ෂිය සැක සහිත බවත් සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් ඔහුට පැනවූ ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම බල රහිත කොට විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් සිය තීන්දුවේ සඳහන් කළහ.

මෙහිදී අභියාචක විත්තිකරු වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම් සමග ජනාධිපති නීතීඥ රියන්සී අර්සකුලරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා පෙනී සිටියේය.

Share This