වන්නිල ඇත්තන්ගේ පෙත්සම විභාගයට අභියාචනාධිකරණය දින නියම කරයි

වන්නිල ඇත්තන්ගේ පෙත්සම විභාගයට අභියාචනාධිකරණය දින නියම කරයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 8 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

රඹකැන්ඔය ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම් හෙළිපහෙළි කොට ඒවා විවිධ වගා කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඔහු එම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම පෙත්සම අද (02) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම විභාගය සඳහා සැප්තැම්බර් මස 8 වනදා කැඳවන ලෙසය.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා ඇත්තේ රඹකැන් ඔය ප්‍රදේශයෙහි පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කොට අදාළ ඉඩම් බඩඉරිඟු වගාකිරීම සඳහා පෞද්ගලික සමාගම් වෙත ලබාදීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බවය.

මේ තුළින් සිය ප්‍රජාවට දැඩි අයුක්තියක් සිදු වන බවත් එබැවින් අදාළ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ආදිවාසී නායකයා මෙම නඩුව ගොනුකර තිබුණි.

Share This