විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නීත්‍යානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව අද (13) නිවේදනය කළේය.

විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පුරා දින තුනක් තිස්සේ පැවැති මෙම පෙත්සම් විභාගය අද දින අවසන් කෙරුණි.

එහිදී අදාල පනත් කෙටුම් පතේ අන්තර්ගත වගන්ති පිළිබඳව පෙත්සම්කාර පාර්ශවය මෙන්ම නීතිපතිවරයා විසින්ද දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරන ලදී.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාල පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානයකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

ලංකා විදුලි සේවක සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශව 14 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

අදාල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව පෙත්සම්කරුවෝ පවසති.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.