ලොව පළමු වරට පොල් පැල සකසන අලුත් ක්‍රමයක් ලංකාවෙන්

ලොව පළමු වරට පොල් පැල සකසන අලුත් ක්‍රමයක් ලංකාවෙන්

පටක රෝපණ තාක්ෂණය යොදාගනිමින් පොල් පැළ සැකසීම පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය විසින් කළ පර්යේෂණ ඉතා සාර්ථක බව එම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ මහත්මිය පැවසුවාය.

පටක රෝපණයෙන් පොල්පැල සැකසීම සිදුවී ඇත්තේ ලෝකයේ පළමු වරට බවද රණසිංහ මහත්මිය කීවාය.

මෙම නව නිපදවීම දැක බලා ගැනීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයට ගොස් තිබේ.

පර්යේෂණ නළ තුළ පොල් මලක සියුම් කොටසක් යොදා ගැනීම මගින් නිපදවා ඇති පොල් පැළ අමාත්‍යවරයා මෙහිදී නිරීක්ෂණය කළේය.

සාම්ප්‍රදායික පොල් වගා ක්‍රමයෙන් පොල් පැළ සකසා ගැනීම සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වුවත් පර්යේෂණාගාරයේ අඟල් හයක් පමණ උස වීදුරු බටයක් තුළ සාර්ථකව පොල් පැළ වගා කර තිබිණි.

ආචාර්ය සනාතනී රණසිංහ, අංශ ප්‍රධාන ආචාර්ය විජිතා විදානාරච්චි ප්‍රමුඛ විද්‍යාඥයෝ මෙම පර්යේෂණය සිදු කළහ.