සාපෙළ ප්‍රතිඵල වලට පෙර උසස්පෙළ පන්ති ඇරඹීමට කැබිනට් අනුමැතිය

සාපෙළ ප්‍රතිඵල වලට පෙර උසස්පෙළ පන්ති ඇරඹීමට කැබිනට් අනුමැතිය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරපත් කළ යෝජනාවකට අනුවයි.

මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා නව උසස් පෙළ පන්ති ආරම්භය ලබන මස 05 වැනි දා සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

නව වැඩපිළිවෙළට පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ගේ එකඟත්වය ද මීට පෙර ලැබී තිබුණි.

ඒ අනුව, සාමාන්‍ය පෙළ දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසල් වල සිසුන් ආසන්නතම පාසල් වෙත උසස් පෙළ වෙනුවෙන් යොමු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

උසස් පෙළ පන්ති පැවැත්වෙන නමුත් යම් විෂය ධාරාවක් එම පාසලේ ඉගැන්වීම් සිදු නොවන්නේ නම්, අදාළ විෂය ධාරාව සහිත පාසලකට සිසුන් යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි, අමාත්‍යාංශය සඳහන් කළේ.

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව එය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මීට පෙර පැවසීය.