සිව්දින නිල සංචාරයක් සඳහා අගමැති චීනයට

සිව්දින නිල සංචාරයක් සඳහා අගමැති චීනයට

සිව්දින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනය බලා පිටත්ව ගොස් තිබේ.

චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන් ප්‍රාන්ත රජය එක්ව පවත්වනු ලබන 7 වැනි චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයේ සහ 27 වැනි චයිනා කුන්මිං ආනයන හා අපනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍යවරයා සහභාගි වීමට නියමිතය.

ප්‍රදර්ශනය මෙම මස 16 සිට 20 දක්වා චීනයේ කුන්මිං හිදී පැවැත්වේ.

එක්ස්පෝ සංවිධායකයින් පවසන පරිදි මෙම අති විශාල වෙළඳ ප්‍රදර්ශනය සඳහා රටවල් 60 ක් සහභාගී වන අතර සියලුම දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් සහ (RECP) කලාපීය පුළුල් ආර්ථික සහයෝගීතා සාමාජික රටවල් ඊට ඇතුළත් වේ. ‘පොදු සංවර්ධනය සඳහා සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය’ යන තේමාව යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන තාරක බාලසූරිය, ජානක වක්කුඹුර, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද මෙම සංචාරයට එක්ව සිටිති.

Share This