ලංවීම ට 63000ක් අය කර ගැනීමට පත් කල පරීක්ෂණ කමිටුවට ලක්ෂ 3ක් වැය කරලා

ලංවීම ට 63000ක් අය කර ගැනීමට පත් කල පරීක්ෂණ කමිටුවට ලක්ෂ 3ක් වැය කරලා

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරියක් ප්‍රංශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා මිලදී ගත් සපත්තු කුට්ටමකට සහ බෑගයකට ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් 63,000 ක ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට එම මණ්ඩලය රුපියල් ලක්‍ෂ 3කට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ.

එම සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට විශ්‍රාම ලත් විනිසුරුවයෙක්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පත්කළ අතර එම කමිටුව අවස්ථා කීපයකදී රැස්වී තිබේ.

එම පරීක්‍ෂණයෙන් පසුව මණ්ඩලයෙන් ගෙවූ රුපියල් 63,000 ක මුදල අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරියගෙන් අයකර ගැනීමට තීරණය කර ඇති බවත් අදාල උසස් නිලධාරිනියට හෝ එයට සම්බන්ධ වෙනත් සෙසු කිසිඳු පුද්ගලයෙක්ට දඩුවම් පනවා නොමැති බවත් එහි සේවකයෝ කියති.

එම විමර්ශනය පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයන්ට ලක්‍ෂ ගණනින් මුදල් ගෙවා ඇති බවත් එහිදී ද මණ්ඩලය විශාල මුදලක් නාස්ති කර ඇති බවත් එහි සේවකයෝ පවසති.

මෙම වියදම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා කළ විමසුමකදී පැවසුවේ පරීක්‍ෂණය සඳහා කොපමණ මුදලක් වැයවූයේ ද යන්න නොදන්නා බවත් පරීක්‍ෂණ මණ්ඩලයට ගෙවීමක් කිරීම සාමාන්‍ය තත්වයක් බවත්ය.

එම ගෙවීම් පිළිබඳව සොයා ලබා දැනුවත් කළ හැකි බව සභාපතිවරයා සඳහන් කර දින කීපයක් ගතවුව ද දැනුවත් කිරීමක් නොවීය.

අදාල අතිරේක සාමාන්‍යාධිකාරිවරිය ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවක් වෙනුවෙන් මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලයේ මුදලින් රුපියල් 63,000 ක් ගෙවීම ඇයට එල්ල වී ඇති චෝදනාව වේ.

 

Share This