සුරාබදු බලපත්‍ර ගාස්තු සහ කැසිනෝ ගාස්තු ඉහළට

සුරාබදු බලපත්‍ර ගාස්තු සහ කැසිනෝ ගාස්තු ඉහළට

පසුගිය 12 වනදා සිට බලාත්මක වන පරිදි සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් ලක්ෂ 10ක් ලෙසය.

රුපියල් 250,000ක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබේ.

රා බෝතල් කිරිමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට කෝටිය දක්වා ඉහළ නංවා ඇති අතර විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 05 සිට විසි පන් ලක්ෂය දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.

මත්පැන් සඳහා ලබාදෙන වාර්ෂික තොග වෙළෙඳ බලපත්‍ර ගාස්තුව නව ගාස්තු සංශෝධනයට අනුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා තිබේ.

එය මීට පෙර රුපියල් ලක්ෂ 10ක් ලෙස පැවතියේය.

මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මහ නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් ලෙස ද නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් ලෙස ද අනෙකුත් ප්‍රදේශවලට රුපියල් කෝටියක් ලෙස ද ඉහළ නංවා තිබේ.

හෝටල් සඳහා ලබාදෙන මත්පැන් බලපත්‍ර ගාස්තු ද සංශෝධනය කර ඇති අතර කාමර 200ක් හෝ ඊට වැඩි හෝටල් සඳහා රුපියල් ලක්ෂ 10 දක්වාත් කාමර 20 සිට 199 දක්වා රුපියල් ලක්ෂ 05ක් ද කාමර 20ට අඩු හෝටල් සඳහා රුපියල් 250,000ක් ද වශයෙන් බලපත්‍ර ගාස්තු ඉහළ නංවා ඇති බව වාර්තා වෙයි.

රුපියල් ලක්ෂයක්ව පැවති තානායම් බලපත්‍ර ගාස්තුව ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් සමාජ ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීමේ ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

රුපියල් ලක්ෂ 05ක් ව පැවති හිමිකාර සමාජ ශාලා බලපත්‍ර ගාස්තුව රුපියල් 250,000 දක්වා අඩුකර ඇති අතර සම්භාෂණ හා විනෝද කාර්යයන් සඳහා වන සමාජ ශාලා සඳහා වූ බලපත්‍ර ගාස්තුව සංශෝධනය නොකර පැවති රුපියල් දෙලක්ෂ පනස් දහසේ ගාස්තුවම අය කිරීමට තීරණය කර තිබේ.

මේ අතර, කැසිනෝ සූදූ ව්‍යාපාරවල නිරත වීම සඳහා වන බලපත්‍ර ගාස්තු ද ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වේ.

ඒ අනුව එක් එක් කාණ්ඩ යටතේ ලබාදෙන බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇති අතර, බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ද සංශෝධනය කර තිබේ.

විශේෂයෙන් ආයෝජන අවස්ථා සැලකිල්ලට ගනිමින් කැසිනෝ සූදූ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබාදීමට නව ගැසට් පත්‍රය මගින් හඳුන්වා දී ඇති බව සඳහන්ය.

Share This