ජාත්‍යන්තර කේක් නිර්මාණ තරඟාවලියකින් ලාංකික ඉංජිනේරුවරියකට ප්‍රථම ස්ථානය

ජාත්‍යන්තර කේක් නිර්මාණ තරඟාවලියකින් ලාංකික ඉංජිනේරුවරියකට ප්‍රථම ස්ථානය

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබේ.

මෙම තරගාවලිය පසුගිය අප්‍රේල් 12වැනිදා සිට 14 වැනිදා දක්වා බ්‍රිස්බේන්හි පැවති අතර රටවල් 25ක් නියෝජනය කරමින් තරගකරුවන් මේ සඳහා සහභාගී වී තිබූ බව වාර්තාවේ.

අංශ රැසක් නියෝජනය කරමින් විවිධ කාණ්ඩ යටතේ මෙම තරගාවලිය පැවැත් වූ අතර එහි ස්ටෝරි ටෙලින් අංශයෙන් නිශා පොල්හේන රන් පදක්කම ජයග්‍රහණය කර තිබේ.

තම ජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ තරගාවලිය වඩාත් අභියෝගාත්මක වූ අතර සිඩ්නි සිට බ්‍රිස්බේන් වෙත පැමිණිම මෙන්ම එහි දේශගුණික තත්වයන් කේක් නිර්මාණයට වඩාත් අභියෝගාත්මක වූ බවයි.

විචිත්‍රවත් අංග සඳහා ප්‍රසිද්ධ “ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ්” කතාව අනුසාරයෙන් නිර්මාණය කළ නිශා පොල්හේනගේ කේක් නිර්මාණය නම් කර තිබුණේ (ඩවුන් ද රැබිට් හෝල් – ඇන් ඇලිස් ඇඩ්වෙන්චර්) “Down the Rabbit Hole – An Alice Adventure” ලෙසිනි.

ඇලිස්ගේ වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සවිස්තරාත්මකව හා නිර්මාණශීලීව ග්‍රහණය කරගනිමින් කතාව විස්තර කිරීමට කේක් නිර්මාණය කර ඇත.

මෙය පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තුළ කේක් අලංකරණයට ඇති හැකියාව පිළිබඳ ප්‍රබල සාක්ෂියක් බව ඇය පෙන්වා දෙයි.

වෘත්තියෙන් ඉංජිනේරුවරියක් වන නිශා පොල්හේන පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ඇති අතර කේක් නිර්මාණය කිරීම වසර 5ක් තිස්සේ විනෝදාංශයක් ලෙස සිදු කරමින් සිටියි.

Share This