බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට

බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි පරීක්ෂා කිරීමට හිස ඇතුලට දමා බලද්දී  වැකුම් නිම වී යළිත් වරක් බස් රථය පහත්වෙද්දී ‍රෝදයට ගෙල  සිරවී බස් රථ රියදුරෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වලස්මුල්ල හොරේවෙල , වත්ත හේන්ගොඩ , මැදගොඩවත්ත අංක 36 / C හි පදිංචි  රන්හොටිගෙදර අනුර නාමල් රන්දෙනිය නමැති (48) හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කියයි.

සංචාරකයින් ප්‍රවාහනය කරන අති සුඛෝපභෝගී බස් රථ ගාල්කර තිබෙන පෞද්ගලික රථ ගාලක බස් රථයක වැකුම් නිමවීමෙන් දකුණු පස රෝදයට බස් රථය පහත් වී තිබෙද්දී ඒ බව දුටු බස් රථ රියදුරෙකු ආධාරකයකින් බස් රථය උස්සා වැකුම් පුරවා එම ආධාරකය ඉවත්කොට පසුව හිස ඇතුලට දමා නිවැරදිව වැකුම් පිරවී ඇත්දැයි පරීක්ෂා කිරීමට යාමේදී එක්වරම යළි බස් රථය පහත් වී ඇති අතර එම අවස්ථාවේදී මෙම පුද්ගලයාගේ ගෙල සිරවීමෙන් අනතුර සිදුව තිබේ.

පසුව මේ බව දුටු අනිත් සේවකයින් ක්ෂණිකව ක්‍රියාත්මක වී යළි බස් රථය උස්සා රෝදයට සිරවී සිටි පුදගලයා එළියට ගෙන ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍ය වරුන් පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළාය.

ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේදී (15) දා සිදුකිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය වූ ස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කර නොතිබීම නිසා සිද්ධිය වූ ආකාරය නිරීක්ෂණය කර ගැනීමට බාධා එල්ල වී ඇති බැවින් මෙවන් අනතුරු යළි සිදු නොවීමට වග බලා ගන්නා ලෙසත් හැකි ඉක්මනින් ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කරන ලෙසටත් බස් රථ ගාල හිමිකරුට හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය උපදෙස් දුන්නාය.

තවද මෙම ස්ථානය බස් රථයක අනතුරුදායක ස්ථානයක් ලෙසට සලකුණක් පවා යොදා තිබූ අතර එසේ තිබියදී මෙලෙසින් හිස ඇතුලට දමා පරීක්ෂා කිරීමට පෙළඹුණේ කුමන හේතුවක් නිසාදැයි සැක මතුවන බව පොලිසිය කියයි .

සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ පොලිසියේ පොලිස් සැරයන් (50046) රිස්වි නිලධාරීහු පරීක්ෂණ පවත්වති .