මිනිස් ඇට සැකිල්ලක කොටස් කිහිපයක් රක්ෂිතයකින් හමුවෙයි

මිනිස් ඇට සැකිල්ලක කොටස් කිහිපයක් රක්ෂිතයකින් හමුවෙයි

අභිරහස් ලෙස මිය ගොස් ඇති බවට සැකකරන අයෙකුගේ සිරුරක ඇටසැකිල්ලක කොටස් කිහිපයක් මාදම්පෙ පනිරෙන්දාව රක්ෂිත වනාන්තරයේ තිබී හමුවී ඇති බව මාදම්පෙ පොලිසිය පවසයි.

වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හලාවත අඩවිවන කාර්යාලයේ නිළධාරීන් දෙදෙනෙකු ඊයේ (26) මෙම රක්ෂිත වනාන්තරයේ ඇවිද යමින් නිරීක්ෂණ චාරිකාවක යෙදුන අවස්ථාවේ මෙම මිනිස් ඇටසැකිල්ලේ කොටස් ඔවුන්ට හමුවී ඇත.

එම නිළධාරීන් මේ බව මාදම්පෙ පොලිසියට දන්වා ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මකවූ මාදම්පෙ පොලිසියේ නිළධාරීන් එම මිනිස් ඇටසැකිළ්ල පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

මාදම්පෙ විලත්තව පාරේ පනිරෙන්ඩාව වනාන්තරයේ, ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 150ක් පමණ රක්ෂිතය තුළට වන්නට තිබී මෙම අස්ථි කොටස් හමුවී ඇත.

මෙම මිනිස් ඇටසැකිල්ලේ කොටස් අතර, මියගිය අයෙකුගේ හිස්කබලක පසු පෙදෙසේ කොටසක් ඇතුළු තවත් කොටස් කිහිපයකුත් පොලිස් නිළධාරීන් විසින් සොයාගෙන ඇත.

ඊට අමතරව කලුපැහැති දිග කලිසමක්, සුදු පැහැති ටී ෂර්ට් එකක්, රබර් සෙරෙප්පු 2 ක් සහ කුඩා ගමන් බෑගයක්ද එම ස්ථානයේ තිබී පොලිසියට හමුවී ඇත.

මේවා මීට මාස පහකට පමණ පෙර මියගිය අයෙකුගේ ඒවා වියහැකි බවට විශ්වාස කළහැකි බවද ‍පොලිසිය පවසයි.

මෙම අස්ථි කොටස් කාගේද , මියගොස් ඇත්තේ කෙළෙස ද යන තොරතුරු හෙලිකර ගැනීමට මාදම්පෙ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරයි.

Share This