මහනුවර බෝගම්බර වැවේ තිබී දෙදරු මවකගේ මළ සිරුරක් හමුවෙයි

මහනුවර බෝගම්බර වැවේ තිබී දෙදරු මවකගේ මළ සිරුරක් හමුවෙයි

ඓතිහාසික මහනුවර බෝගම්බර වැවේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් මහනුවර පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇති කාන්තාව මහනුවර, අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි අචලා කුමාරි බණ්ඩාර නැමැති 31 හැවිරිදි දෙදරු මවක් බවට පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.

නුවර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී අද (20) පෙරවරුවේ එම කාන්තා සිරුර සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම කාන්තාවගේ සැමියා විදේශ ගත වී ඇතැයි පොලිස් විමර්ශන අංශ පවසයි.

මෙම කාන්තාව වැවට පැන සියදිවි හානි කර ගත්තේ ද නැතහොත් කවුරුන් හෝ ඇය ඝාතනය කර වැවට දැමුවේ ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මියගිය කාන්තාවට වයස අවුරුදු 10 ක සහ 5 ක දරුවන් දෙදෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මරණය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට එළැඹිය හැකි බව පොලීසිය පවසයි.

මළ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නොලැබෙන බැවින් බොහෝ විට මෙම කාන්තාව වැවට පැන සිය දිවි හානි කර ගන්නට ඇතැයි පොලිසිය සැක පල කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.