බියර් පානය කර පාසල් පැමිණි 14 හැවිරිදි සිසුවිය පොලීසිය මගින් රෝහලට

බියර් පානය කර පාසල් පැමිණි 14 හැවිරිදි සිසුවිය පොලීසිය මගින් රෝහලට

බියර් පානය කර පාසල් පැමිණි වයස අවුරුදු 14ක බාලවයස්කාර පාසල් සිසුවියක් සිය භාරයට ගැනීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල බව කැකිරාව පොලීසිය පවසයි.

කැකිරාව අධ්‍යාපන කලාපයේ මහා විද්‍යාලයක් ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි කැකිරාව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු සිසුවිය පිළිබඳව සැක සිතී මෙම සිසුවිය සිය බාරයට ගෙන තිබේ.

පසුව අදාළ සිසුවිය කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතා වෙත ගෙනවිත් බාර දීමෙන් පසුව සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බවද පොලිසිය කියයි.

මෙම සිසුවිය මත් පැන් පානය කළේ කෙසේද, යන්න පිළිබඳව අණාවරනය කර ගැනීම සදහා සිදු කල මූලික විමර්ශන වලදී දැරියගේ මවගේ දෙවන විවාහයේ සැමියා ගේ පියා, (සීයා) විසින් ඇයට බියර් පානය කිරීමට පුරුදු කර ඇති බව දැරිය ප්‍රකාශ කළ බවද පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය මගින්, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පරිවාස කාර්යාලයටද දැනුම් දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් අරඹා තිබේ.

එකී විමර්ශනයට අනුව අදාළ සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතා දුරකථන ඇමතුමක් ලබා ගත් අවස්ථාවේදී විදුහල්පතිවරයා දුරකථනය විසන්ධි කරමින් විමර්ශන වලට සහාය දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

පසුව අදාල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මෙම දැරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට සහය නොදක්වන බවටත්, බාධා පමුණුවන බවටත් පවසමින් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී කීර්තිරත්න මහතා කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කර තිබේ.

මෙම දැරිය බියර් පානය කර පාසලට පැමිණීමට හේතුව සහ ඇයට බියර් පානය කිරීමට පුරුදු කළේ කවුරුන්ද යන්න පිළිබඳවත් සොයා බැලීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා ඇති බවද පවසන කැකිරාව පොලීසිය එකී විමර්ශන අවසානයේදී සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විටත් දැරිය අධ්‍යාපනය ලබන පාසලේ විනය භාර ගුරුවර ගුරුවරියන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

කැකිරාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ ලමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This