සංස්කෘතියට පටහැණි අවුරුදු උත්සවවලට එරෙහිව දැඩි පියවර

සංස්කෘතියට පටහැණි අවුරුදු උත්සවවලට එරෙහිව දැඩි පියවර

අවුරුදු උත්සව වලදී රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැළපෙන විකෘති ක්‍රීඩා අංග එක් කිරීම පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති අතර ඒ සම්බන්ධව ඉදිරියේ දී දැඩි පියවර ගනු ලබන බව සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා පැවසීය.

පසුගිය අලුත් අවුරුදු සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබූ අවුරුදු උත්සවවලදී ලිංගික ක්‍රියාවන් ඉස්මතුවන ආකාරයෙන් එම උත්සවවලට නොගැළපෙන ක්‍රීඩා අංග එක් කර තිබූ අයුරු දක්නට ලැබුණු අතර සමාජ මාධ්‍යවලද එම දර්ශන ඇතුළත් විඩියෝ පට සංසරණය විය.

මේ සම්බන්ධව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එවැනි විකෘති ක්‍රීඩා අංග සංවිධානය කර තිබූ අවුරුදු උත්සව පිළිබඳ සංස්කෘතික අමාත්‍යාංශය මේ වනවිට තොරතුරු සොයමින් සිටියි. මෙවැනි විකෘති ක්‍රීඩා අංග අවුරුදු උත්සව වලට එක්කිරීමෙන් සිදුවන්නේ මෙරට තරුණ පිරිස සංස්කෘතික අනාථයන් බවට පත්වීම බවද ඇමැතිවරයා පැවසීය.

මේ පිළිබඳව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දුගෙන්ද විමසීමේදී ඇය ප්‍රකාශ කළේ සමාජයක් පිරිහීමට ලක් වනවිට අවුරුදු ජන ක්‍රීඩාද මෙවැනි ආකාරයෙන් විකෘති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා බවය.

“බොහෝ දෙනාට සිංහල ජන ක්‍රීඩා ගැන සරල අවබෝධයක් තිබුණත් ඒවා නිර්මාණය වීමට හේතු වූ මූලාශ්‍ර, කරුණු මොනවාද, ඒවා නිවැරැදිව භාවිත කරන්නේ කොහොමද කියන එක වගේම ඒවා ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැහැ. රටක් විදියට මෙවැනි දේවල් වහාම වෙනස් වෙන්න ඕනෑ වගේම වෙනස් කරන්න ඕනෑ. එදා තිබුණු ජන ක්‍රීඩාවලින් බහුතරයක් අද වන විට අපිට දැක ගන්න බැහැ. ඒක මහා අවාසනාවන්ත තත්ත්වයක්. වෙනත් රටක මෙවැනි දෙයක් වුණා නම් පළමුව ඊට විරුද්ධව නැගී සිටින්නේ ජනතාව. ඒත් ලංකාවේ මේවට අනුබල දෙන්නේම වැඩිහිටි ප්‍රජාව. ඒ නිසා මේ ගැන සියලු දෙනාම අවධානය යොමු කරලා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ සඳහා මම අනිවාර්යෙන්ම සහය ලබා දෙනවා” යැයිද ඇය කීවාය.